5. සොණවග්ගො පඤ්චමො
5. 1.
රාජ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. ඒ කාලයෙහි පසේනදි කොසොල් රජ තෙම මල්ලිකාදේවි සමග මහා ප්‍රාසාදය මත්තේ සිටියේවේ. ඉක්බිති පසේනදී කොසොල් රජතෙම මල්ලිකාදේවිට “මල්ලිකාවෙනි, තොපට තමාට වඩා අතිශයින් ප්‍රිය කෙනෙක් ඇද්දැයි” ඇසීය.
“මහරජ, මට මට වඩා ප්‍රිය අන්කිසිවෙක් නැතැයි” කීවාය.
“මහරජ, ඔබට ඔබට වඩා ප්‍රිය අන්කෙනෙක් ඇත්දැයි” ඇසුවාය.
“මල්ලිකාවෙනි මටත් මට වඩා ප්‍රිය අන් කෙනෙක් නැතැයි” කීයේය.
ඉක්බිති පසේනදී කොසොල් රජ තෙම ප්‍රාසාදයෙන් බැස භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි පසේනදී කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළේය:
“ස්වාමීනි, මෙහි මම මල්ලිකා දේවිය සමග මහාප්‍රාසාදය මත්තෙහි සිටියේය. මල්ලිකා දේවියගෙන් ‘මල්ලිකාවෙනි තොපට තමාට වඩා අතිශයින් ප්‍රිය කෙනෙක් ඇද්දැයි’ ඇසීමි. මෙසේ ඇසූ කල්හි මල්ලිකා දේවී ‘මට, මහරජ මට වඩා ප්‍රිය කෙනෙක් නැතැයි’ උත්තර දුන්නාය. ‘මහරජ, ඔබටවත් ඔබට වඩා ප්‍රිය අන්කෙනෙක් ඇද්දැයි’ ඈ ඇසුවාය. ස්වාමීනි, මෙසේ කියනු ලැබූ මම මල්ලිකා දේවීට ‘මල්ලිකාවෙනි, මටද මට වඩා ප්‍රිය කෙනෙක් නැතැයි’ කීවෙමි.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන, ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළ සේක.
“සියලු දිශාවන් සිතින් සොයා තමාට වඩා ප්‍රිය කිසි කෙනෙක් නොලදිමි.
මෙසේ අනුන්ටත් තමා ඉතා ප්‍රියය.
එහෙයින් තමහට හිත කැමැත්තේ අනුන්ට හිංසා නොකරන්නේය.”
5. 2.
අප්පායුක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය: “ස්වාමීනි මෙය ආශ්චර්‍ය්‍යයි! ස්වාමීනි, මෙය පුදුමයි! ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ මවුතොමෝ මෙපමණ අඩු ආයුෂ ඇත්තීවූවාය. භාග්‍යවතුන් වහන්සේ ඉපිද සත්වෙනි දින භාග්‍යවතුන් වහන්සේගේ මවු කළුරිය කළාය. තුසීලොව උපන්නීය”යි. “ආනන්‍දය, මෙය එසේමය. බෝසත් මවුවරු අඩු ආයුෂ ඇත්තෝය. බෝසතුන් ඉපිද සත්වෙනි දවස බෝසත් මවුවරු කළුරිය කරත්. තුසී පුර උපදියයි” වදාළේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක.
“ඇතිවූ යම් කෙනෙක් වෙත්ද, යම් කෙනෙක් මතු වෙත්ද ඒ සියල්ලෝ ශරීරය හැරයත්,
එබැවින් ඒ සියලු හානිය දක්‍ෂයා දැන
කෙලෙස් තවන වීර්ය ඇතිව බ්‍රහ්මචර්යයාවෙහි හැසිරෙන්නේය.”
5. 3.
සුප්පබුද්ධකුට්ඨි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවන නම්වූ කලන්දකනිවාපයෙහි වැඩවසන සේක. ඒ කාලයෙහි රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ට ඇති දිළිඳු මිනිහෙක් විය. ඔහු මිනිස් දුගියෙක් වේ. මිනිස් අසරණයෙක් වේ. මිනිස් මළපූඩුවෙක් වේ.
ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් පිරිවරන ලද්දේ බණ වදාරමින් හුන්නේ විය. සුප්‍රබුද්ධ නම් කුෂ්ට රෝගී තෙමේ රැස්වූ ඒ මහජන සමූහයා දුරින්ම දුටුවේය. දැක ඔහුට ‘නිසැකයෙන් මෙහි කෑයුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ බෙදනු ලබයි. ඒ මහජන සමූහයා යම්තැනෙක්හිද එහි යන්නෙම් නම් යෙහෙක. මෙහිදී කිසි කෑ යුතු දෙයක් හෝ බුදිය යුතු දෙයක් හෝ ලබන්නේ නම් යෙහෙකැයි’ සිතීය.