4. 6.
පිණ්ඩොල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් පිණ්ඩොලභාරද්වාජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි පර්යංකයක් බැඳ, කය ඍජුව තබාගෙන, ආරණ්‍යක වූ, පිණ්ඩපාතික වූ, පාංශුකූලික වූ, තෙචීවරික වූ, අල්පේච්ඡ වූ, සන්තුෂ්ට වූ, විවේකී වූ, අසංසර්ග (ගණයා හා නොගැවසෙන) වූ, පටන්ගත් වීර්ය ඇති, ධුතවාද ඇති, අධිචිත්තයෙහි (සමාධියෙහි) යෙදුණු කෙනෙක් වී හුන්නේ වෙයි.
2. භාග්‍යවතුන් වහන්සේ, නුදුරෙහි පර්යංකයක් බැඳ, කය ඍජුව තබාගෙන හුන්, ආරණ්‍යක වූ, පිණ්ඩපාතික වූ, පාංශුකූලික වූ, තෙචීවරික වූ, අල්පේච්ඡ වූ, සන්තුෂ්ට වූ, විවේකී වූ, අසංසර්ග වූ, පටන්ගත් වීර්ය ඇති, ධුතවාද ඇති, අධිචිත්තයෙහි යෙදුණු ආයුෂ්මත් පිණ්ඩොලභාරද්වාජයන් දුටු සේක.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“අනුන්ට දොස් නොකීම ද, හිංසා නොකිරීම ද, ප්‍රාතිමෝක්‍ෂයෙහි සංවරය ද, ආහාරයෙහි පමණ දැනීම ද, දුර පිහිටි සෙනසුන ද, අධිචිත්තයෙහි (සමාධියෙහි) යෙදීම ද යන මෙය බුදුවරයන්ගේ අනුශාසනය යි.”
4. 7.
සාරිපුත්ත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් සාරිපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි පර්යංකයක් බැඳ, කය ඍජුව තබාගෙන, අල්පේච්ඡ වූ, සන්තුෂ්ට වූ, විවේකී වූ, අසංසර්ග (ගණයා හා නොගැවසෙන) වූ, පටන්ගත් වීර්ය ඇති, අධිචිත්තයෙහි (සමාධියෙහි) යෙදුණු කෙනෙක් වී හුන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ, නුදුරෙහි පර්යංකයක් බැඳ, කය ඍජුව තබාගෙන හුන්, අල්පේච්ඡ වූ සන්තුෂ්ට වූ විවේකී වූ අසංසර්ග වූ පටන්ගත් වීර්ය ඇති අධිචිත්තයෙහි යෙදුණු ආයුෂ්මත් සාරිපුත්‍රයන් දුටු සේක.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“අධිචිත්තයෙහි (සමාධියෙහි) යෙදුණු, අප්‍රමාද වූ, මෞන මාර්ගයන්හි හික්මෙන, ඇතුළත සන්සුන් වූ, සදා සිහි ඇති තාදී (මුනි) වරයාට ශෝකයෝ නොවෙති.”
4. 8.
සුන්දරී සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර ඇත්තේ, ගරු කිරීම් ඇත්තේ, බුහුමන් ඇත්තේ, පූජා ඇත්තේ, සංග්‍රහ ඇත්තේ, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. භික්‍ෂු සංඝයා ද සත්කාර ඇත්තේ ගරු කිරීම් ඇත්තේ බුහුමන් ඇත්තේ පූජා ඇත්තේ සංග්‍රහ ඇත්තේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. නමුත් අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ වනාහි අසත්කාර ඇත්තෝ, අගරුකිරීම් ඇත්තෝ, අබුහුමන් ඇත්තෝ, අපූජා ඇත්තෝ, අසංග්‍රහ ඇත්තෝ, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නෝ වෙත්.
2. ඉක්බිත්තෙන් වනාහි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන්වහන්සේට හා භික්‍ෂුසංඝයාට වන සත්කාර නොඉවසන්නාහු සුන්දරී නම් පරිබ්‍රාජිකාව යම් තැනෙක්හිද එහි පැමිණියෝය. පැමිණ, සුන්දරී නම් පරිබ්‍රාජිකාවට මෙය කීහ: “නංගියේ, නෑයන්ට අර්ථයක් (වැඩක්) කරන්නට උත්සාහ කරන්නෙහිද?” “මහාත්මයෙනි, මම කුමක් කරම්ද? මට කුමක් කළ හැකිද? නෑයන්ගේ අර්ථය පිණිස මාගේ ජීවිතය වුවද පරිත්‍යාග කරණ ලදී.”