4. 7.
සාරිපුත්ත සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් සාරිපුත්ර තෙමේ භාග්යවතුන් වහන්සේට නුදුරෙහි පර්යංකයක් බැඳ, කය ඍජුව තබාගෙන, අල්පේච්ඡ වූ, සන්තුෂ්ට වූ, විවේකී වූ, අසංසර්ග (ගණයා හා නොගැවසෙන) වූ, පටන්ගත් වීර්ය ඇති, අධිචිත්තයෙහි (සමාධියෙහි) යෙදුණු කෙනෙක් වී හුන්නේ වෙයි. භාග්යවතුන් වහන්සේ, නුදුරෙහි පර්යංකයක් බැඳ, කය ඍජුව තබාගෙන හුන්, අල්පේච්ඡ වූ සන්තුෂ්ට වූ විවේකී වූ අසංසර්ග වූ පටන්ගත් වීර්ය ඇති අධිචිත්තයෙහි යෙදුණු ආයුෂ්මත් සාරිපුත්රයන් දුටු සේක.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“අධිචිත්තයෙහි (සමාධියෙහි) යෙදුණු, අප්රමාද වූ, මෞන මාර්ගයන්හි හික්මෙන, ඇතුළත සන්සුන් වූ, සදා සිහි ඇති තාදී (මුනි) වරයාට ශෝකයෝ නොවෙති.”
4. 8.
සුන්දරී සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ සත්කාර ඇත්තේ, ගරු කිරීම් ඇත්තේ, බුහුමන් ඇත්තේ, පූජා ඇත්තේ, සංග්රහ ඇත්තේ, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. භික්ෂු සංඝයා ද සත්කාර ඇත්තේ ගරු කිරීම් ඇත්තේ බුහුමන් ඇත්තේ පූජා ඇත්තේ සංග්රහ ඇත්තේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. නමුත් අන්යතීර්ථක පරිබ්රාජකයෝ වනාහි අසත්කාර ඇත්තෝ, අගරුකිරීම් ඇත්තෝ, අබුහුමන් ඇත්තෝ, අපූජා ඇත්තෝ, අසංග්රහ ඇත්තෝ, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නෝ වෙත්.
2. ඉක්බිත්තෙන් වනාහි ඒ අන්යතීර්ථක පරිබ්රාජකයෝ භාග්යවතුන්වහන්සේට හා භික්ෂුසංඝයාට වන සත්කාර නොඉවසන්නාහු සුන්දරී නම් පරිබ්රාජිකාව යම් තැනෙක්හිද එහි පැමිණියෝය. පැමිණ, සුන්දරී නම් පරිබ්රාජිකාවට මෙය කීහ: “නංගියේ, නෑයන්ට අර්ථයක් (වැඩක්) කරන්නට උත්සාහ කරන්නෙහිද?” “මහාත්මයෙනි, මම කුමක් කරම්ද? මට කුමක් කළ හැකිද? නෑයන්ගේ අර්ථය පිණිස මාගේ ජීවිතය වුවද පරිත්යාග කරණ ලදී.”
3. “එසේ නම් නංගියේ, නිතර නිතර ජේතවනයට යන්න.” “මහාත්මයෙනි, එසේයයි” සුන්දරී පරිබ්රාජිකාව ඒ අන්යතීර්ථක පරිබ්රාජකයන්ට පිළිවදන් දී නිතර නිතර ජේතවනයට ගියාය. ඉක්බිති ඒ අන්යතීර්ථක පරිබ්රාජකයෝ, සුන්දරී පරිබ්රාජිකාව බොහෝ දෙනා විසින් නිතර ජේතවනයට යනු දක්නා ලදැයි දැන, ඇය ජීවිතයෙන් තොරකොට (මරා) එහිම ජේතවනයෙහි දිය අගළක වළලා කොසොල් රජු පසේනදි යම් තැනෙකද එහි පැමිණියහ. පැමිණ පසේනදි කොසොල් රජුට මෙය කීහ: “මහරජ, යම් ඒ සුන්දරි පරිබ්රාජිකාව (වූවා ද), ඇය අපට නොපෙනේ.” “තෙපි කොතැන සැක කරව්ද?” “මහරජ, ජේතවනයෙහිය.” “එසේ නම් ජේතවනය සොයව්.”
4. ඉක්බිති වනාහි ඒ අන්යතීර්ථක පරිබ්රාජකයෝ ජේතවනය සොයා (සුන්දරිය) වළලන ලද තැන වූ දිය අගළෙන් ගොඩ ගෙන ඇඳකට නගා සැවැත්නුවරට ඇතුළුකොට වීදියෙන් වීදියට සතර මංසන්ධියෙන් සතර මංසන්ධියට ගොස් (මිනිසුන්) උදහස් කරවූහ:
“මහාත්මවරුනි, ශ්රමණ ශාක්යපුත්රයන්ගේ කර්මය බලන්න. මේ ශ්රමණ ශාක්යපුත්රයෝ ලජ්ජා නැත්තෝය, දුශ්ශීලයෝ ය, පාපධර්ම ඇත්තෝය, බොරු කියන්නෝ ය, බ්රහ්මචර්ය්යා නැත්තෝය. මොවුන් විසින් නම්, ‘ධර්මචාරීහු ය, සමචාරීහු ය, බ්රහ්මචාරීහු ය, සත්යවාදීහු ය, සීලවන්තයෝ ය, කල්යාණධර්ම ඇත්තෝ ය’යි ප්රතිඥා කරනු ලැබෙත්. මොවුන්ට ශ්රමණකමක් නැත. මොවුන්ට බ්රාහ්මණකමක් නැත. මොවුන්ගේ ශ්රමණකම නැසුණේය. මොවුන්ගේ බ්රාහ්මණකම නැසුණේය. මොවුන්ට ශ්රමණකමක් කොයින්ද? මොවුන්ට බ්රාහ්මණකමක් කොයින්ද? මොහු ශ්රමණකමින් පහවූවෝය. මොහු බ්රාහ්මණකමින් පහවූවෝය. පුරුෂයෙක් පුරුෂ ක්රියාව (මෛථුනය) කොට කෙසේ නම් ස්ත්රියක දිවියෙන් තොර කරන්නේද?”
5. එසමයෙහි වනාහි සැවැත්නුවර මනුෂ්යයෝ භික්ෂූන් දැක අසභ්ය වූ පරුෂ වූ වචනවලින් බණිත්, නින්දා කරත්, කෝප කරත්, වෙහෙසත්: “මේ ශ්රමණ ශාක්යපුත්රයෝ ලජ්ජා නැත්තෝය, දුශ්ශීලයෝ ය, පාපධර්ම ඇත්තෝය, බොරු කියන්නෝ ය, බ්රහ්මචර්ය්යා නැත්තෝය. මොවුන් විසින් නම්, ‘ධර්මචාරීහු ය, සමචාරීහු ය, බ්රහ්මචාරීහු ය, සත්යවාදීහු ය, සීලවන්තයෝ ය, කල්යාණධර්ම ඇත්තෝ ය’යි ප්රතිඥා කරනු ලැබෙත්. මොවුන්ට ශ්රමණකමක් නැත. මොවුන්ට බ්රාහ්මණකමක් නැත. මොවුන්ගේ ශ්රමණකම නැසුණේය. මොවුන්ගේ බ්රාහ්මණකම නැසුණේය. මොවුන්ට ශ්රමණකමක් කොයින්ද? මොවුන්ට බ්රාහ්මණකමක් කොයින්ද? මොහු ශ්රමණකමින් පහවූවෝය. මොහු බ්රාහ්මණකමින් පහවූවෝය. පුරුෂයෙක් පුරුෂ ක්රියාව කොට කෙසේ නම් ස්ත්රියක දිවියෙන් තොර කරන්නේද?”යි (කියමින් නින්දා කරති).