මෙඝිය වර්ගය
4. 1.
මෙඝිය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ චාලිකා පර්වතයෙහි වූ චාලිකාවෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේගේ උපස්ථායකව සිටියහ. ඉක්බිති ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැළකළහ: ‘ස්වාමීනි, මම ජන්තුගාමය වෙත පිඬු පිණිස පිවිසෙනු කැමැත්තෙමි’. “මේඝිය, යමකට ඔබ දැන් කාලය යයි සිතන්නෙහි නම් එසේ වේවා”.
2. ඉක්බිති ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ පෙරවරු කාලයෙහි හැඳපොරවා පාත්ර සිවුරු ගෙන ජන්තුගාමයට පිඬු පිණිස පිවිසියහ. ජන්තුගාමයෙහි පිඬු පිණිස හැසිර පසුවරු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ කිමිකාලා නදියගේ තීරය වෙත එළඹියහ. එළඹ කිමිකාලා නදී තීරයෙහි ජංඝාවිහාරය පිණිස සක්මන් කරන්නේ, ඔබමොබ ඇවිදින්නේ, ප්රසාද එලවන, සිත්කලු වූ, රමණීය වූ අඹ වනයක් දිටී ය. දැක ඔහුට මෙය සිතුණි: “මේ අඹ වනය ඒකාන්තයෙන් ප්රසාද එලවයි, රමණීය ය. වීර්යය වැඩීමට කැමති කුලපුත්රයෙකුට වීර්යය වැඩීම පිණිස මෙය ඒකාන්තයෙන් සුදුසු ය. ඉදින් භාග්යවතුන් වහන්සේ මට අනුදැන වදාරන සේක් නම්, මම මේ අඹ වනයට වීර්යය වැඩීම පිණිස පැමිණෙන්නෙමි”.
3. ඉක්බිති ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැළකළහ: “ස්වාමීනි, මෙහි මම පෙරවරු කාලයෙහි හැඳපොරවා පාත්ර සිවුරු ගෙන ජන්තුගාමයට පිඬු පිණිස පිවිසියෙමි. ජන්තුගාමයෙහි පිඬු පිණිස හැසිර පසුවරු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ කිමිකාලා නදියගේ තීරය වෙත එළඹියෙමි. එළඹ කිමිකාලා නදී තීරයෙහි ජංඝාවිහාරය පිණිස සක්මන් කරන්නේ, ඔබමොබ ඇවිදින්නේ, ප්රසාද එලවන, රමණීය වූ අඹ වනයක් දිටිමි. දැක මට මෙය සිතුණි: ‘මේ අඹ වනය ඒකාන්තයෙන් ප්රසාද එලවයි, රමණීය ය. වීර්යය වැඩීමට කැමති කුලපුත්රයෙකුට වීර්යය වැඩීම පිණිස මෙය ඒකාන්තයෙන් සුදුසු ය. ඉදින් භාග්යවතුන් වහන්සේ මට අනුදැන වදාරන සේක් නම්, මම මේ අඹ වනයට වීර්යය වැඩීම පිණිස පැමිණෙන්නෙමි’. ස්වාමීනි, ඉදින් භාග්යවතුන් වහන්සේ අනුදැන වදාරන සේක් නම්, මම ඒ අඹ වනයට වීර්යය වැඩීම පිණිස යන්නෙමි”.
4. මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් මේඝිය තෙරණුවන්ට මෙය වදාළ සේක: ‘මේඝිය, අපි තවම හුදකලා වෙමු. අන්ය භික්ෂුවක් එන තුරු මඳක් සිටින්න’. දෙවනුවත් ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැළකළහ: “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේට මතු කළයුතු කිසිවක් නැත. කළ දෙයෙහි නැවත රැස්කිරීමක් නැත. ස්වාමීනි, මට වනාහි මතු කළයුතු දෙයක් ඇත. කළ දෙයෙහි නැවත රැස්කිරීමක් ඇත. ස්වාමීනි, ඉදින් භාග්යවතුන් වහන්සේ අනුදැන වදාරන සේක් නම්, මම ඒ අඹ වනයට වීර්යය වැඩීම පිණිස යන්නෙමි”. දෙවනුවත් භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් මේඝිය තෙරණුවන්ට මෙය වදාළ සේක: ‘මේඝිය, අපි තවම හුදකලා වෙමු. අන්ය භික්ෂුවක් එන තුරු මඳක් සිටින්න’. තෙවනුවත් ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැළකළහ: “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේට මතු කළයුතු කිසිවක් නැත. කළ දෙයෙහි නැවත රැස්කිරීමක් නැත. ස්වාමීනි, මට වනාහි මතු කළයුතු දෙයක් ඇත. කළ දෙයෙහි නැවත රැස්කිරීමක් ඇත. ස්වාමීනි, ඉදින් භාග්යවතුන් වහන්සේ අනුදැන වදාරන සේක් නම්, මම ඒ අඹ වනයට වීර්යය වැඩීම පිණිස යන්නෙමි”.
5. “මේඝිය, වීර්යය වැඩීම ගැන කියද්දී අපි කුමක් කියමුද? මේඝිය, යමකට ඔබ දැන් කාලය යයි සිතන්නෙහි නම් එසේ වේවා”. ඉක්බිති ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට ඒ අඹ වනය වෙත එළඹියහ. එළඹ ඒ අඹ වනයට බැස එක්තරා ගසක් මුල දහවල් කාලය ගතකිරීමට හිඳගත්හ. ඉක්බිති ඒ අඹ වනයෙහි වසන ආයුෂ්මත් මේඝිය තෙරණුවන්ට බොහෝ සෙයින් ලාමක වූ අකුසල විතර්කයෝ තුනක් උපදිත්. එනම්: කාම විතර්කය, ව්යාපාද විතර්කය, විහිංසා විතර්කය යි. ඉක්බිති ආයුෂ්මත් මේඝිය තෙරණුවන්ට මෙය සිතුණි: “භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යය ය! භවත්නි, ඒකාන්තයෙන් අද්භූත ය! මම ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි වූයෙමි. එහෙත් මම මේ ලාමක වූ අකුසල විතර්කයන් තුනෙන් වෙළී සිටිමි. එනම්: කාම විතර්කයෙන්, ව්යාපාද විතර්කයෙන්, විහිංසා විතර්කයෙන් ය”.