4. 5.
නාග සූත්රය (පාරිලෙය්යක සූත්රය)
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොෂිතාරාමයේ වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්, භික්ෂුණීන්, උපාසකයන්, උපාසිකාවන්, රජුන්, මහ ඇමතියන්, තීර්ථකයන්, තීර්ථක ශ්රාවකයන් සමග ගැවසුණේ දුක සේ වසන සේක. පහසුසේ නොවසන සේක.
2. ඉක්බිත්තෙන් වනාහි භාග්යවතුන් වහන්සේට මේ අදහස විය: “දැන් මම වනාහි භික්ෂූන්, භික්ෂුණීන්, උපාසකයන්, උපාසිකාවන්, රජුන්, මහ ඇමතියන්, තීර්ථකයන්, තීර්ථක ශ්රාවකයන් සමඟ ගැවසුණේ දුක සේ වසමි. පහසු සේ නොවසමි. ඒකාන්තයෙන් මම ගණයා කෙරෙන් වෙන්ව තනිව වසන්නෙම් නම් ඉතා යෙහෙකැයි”.
3. ඉක්බිත්තෙන් වනාහි භාග්යවතුන් වහන්සේ පෙරවරුවේ හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන කොසඹෑ නුවර පිඬු පිණිස පිවිසුණ සේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුණේ තමාම සේනාසනය තැන්පත් කොට තබා පා සිවුරු ගෙන කථා නොකර උපස්ථායකයාද භික්ෂු සංඝයාද නොබලා තනිව, දෙවැන්නකු නැතිව පාරිලෙය්යක වනය යම් තැනෙකද එහි චාරිකාවේ වැඩිසේක. පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නේ පාරිලෙය්යක වනය යම් තැනෙකද එහි පැමිණි සේක. භාග්යවතුන් වහන්සේ ඒ පාරිලෙය්යක වනයෙහි රක්ඛිත වන ලැහැබේ භද්රශාල මූලයෙහි වසනසේක.
4. එක්තරා ඇත් රජෙක් ද ඇතුන්, ඇතින්නන්, තරුණ ඇතුන්, ඇත් පැටවුන් හා ගැවසුණේ වසයි. ඔහු (කන) තණකොළ අගිසි ද (අන් ඇත්තු) කති. ඔහු විසින් (කනු පිණිස) නමා ගත් අතු කැබලි ද (අන් ඇත්තු) කති. (අන් ඇතුන් විසින්) කැලැත්වූ පැන් ද බොයි. දියට බස්නා විට ද දියෙන් ගොඩවූ විට ද ඇතින්නෝ ඔහුගේ ඇඟෙහි හැපෙමින් යත්. හෙතෙම ගැවසුණේ දුකසේ වසයි; පහසුසේ නොවසයි. ඉක්බිති ඒ ඇත් රජුට මේ අදහස විය: 'මම වනාහි දැන් ඇතුන්, ඇතින්නන්, තරුණ ඇතුන්, ඇත් පැටවුන් හා ගැවසුණේ වසමි. මම (කන) තණකොළ අගිසි ද (අන් ඇත්තු) කති. මා විසින් (කනු පිණිස) නමා ගත් අතු කැබලි ද (අන් ඇත්තු) කති. (අන් ඇතුන් විසින්) කැලැත්වූ පැන් ද බොමි. දියට බස්නා විට ද දියෙන් ගොඩවූ විට ද ඇතින්නෝ මාගේ ඇඟෙහි හැපෙමින් යත්. මම ගැවසුණේ දුකසේ වසමි; පහසුසේ නොවසමි. ඒකාන්තයෙන් මම ගණයාගෙන් වෙන්ව තනිව වසන්නෙම් නම් ඉතා යෙහෙකැයි'.
5. ඉක්බිති ඒ ඇත් රජ යූථයෙන් ඉවත්ව පාරිලෙය්යක වනයේ රක්ඛිත වනලැහැබේ භද්රශාල මූලය යම්තැනෙකද භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියේය. එහි වනාහි ඒ ඇත් රජ භාග්යවතුන් වහන්සේ යම්තැනක වසනසේක්ද ඒ ප්රදේශයේ තණ ඉගිලීමද (එළිපහළි) කරයි. සොඬින් භාග්යවතුන් වහන්සේට පැන් සහ පාරිභෝගික ජලය ද එළවයි.
6. ඉක්බිත්තෙන් වනාහි රහසිගතව විවේකීව සිටි භාග්යවතුන් වහන්සේට සිතේ මෙබඳු කල්පනාවක් උපන්නේය: “පෙර මම වනාහි භික්ෂූන්, භික්ෂුණීන්, උපාසකයන්, උපාසිකාවන්, රජුන්, මහ ඇමතියන්, තීර්ථකයන්, තීර්ථක ශ්රාවකයන් සමඟ ගැවසුණේ විසීමි; ගැවසුණේ දුක සේ විසීමි, පහසුසේ නොවිසීමි. ඒ මම දැන් වනාහි භික්ෂූන්, භික්ෂුණීන්, උපාසකයන්, උපාසිකාවන්, රජුන්, මහ ඇමතියන්, තීර්ථකයන්, තීර්ථක ශ්රාවකයන් සමඟ නොගැවසුණේ වසමි. නොගැවසුණේ සුවසේ වසමි, පහසුයේ වසමි”.
7. ඒ ඇත් රජුටද සිතේ මෙබඳු කල්පනාවක් උපන්නේය: “මම වනාහි පෙර ඇතුන්, ඇතින්නන්, තරුණ ඇතුන්, ඇත් පැටවුන් හා ගැවසුණේ විසීමි. (අනුන් විසින්) අගිසි කන ලද තණකොළ කෑවෙමි. මා විසින් (කනු පිණිස) නමා ගත් අතු කැබලි ද ඔවුහු කෑවාහුය. (අනුන් විසින්) කැලැත්වූ පැන් බිව්වෙමි. දියට බස්නා විට ද දියෙන් ගොඩවූ විට ද ඇතින්නෝ මාගේ ඇඟෙහි හැපෙමින් ගියහ. (මම) ගැවසුණේ දුකසේ විසීමි. පහසුසේ නොවිසීමි. ඒ මම දැන් ඇතුන්, ඇතින්නන්, තරුණ ඇතුන්, ඇත් පැටවුන් හා නොගැවසුණේ වසමි. නොසිඳුණු අක් ඇති තණකොළද කමි. මා විසින් නමාගත් අතු කැබලිද ඔවුහු නොකත්. නොකැලැත් පැන්ද බොමි. දියට බස්නා විට ද දියෙන් ගොඩවූ විට ද ඇතින්නෝ මාගේ ඇඟෙහි හැපෙමින් නොයත්. නොගැවසුණේ සුවසේ වසමි. පහසුසේ වසමි”.
8. ඉක්බිති භාග්යවතුන් වහන්සේ තමාගේද විවේකය දැන, ඒ ඇත්රජුගේ සිතේ කල්පනාව ද සිතින් දැන, ඒ වේලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“නගුලිස වැනි දත් ඇති, ඇත් නාගයාගේ සිත හා (බුදු) නාගයාගේ සිත යම් කරුණකින් සැසඳෙයි ද, (එසේ හෙයින්) ඒ එකලාවූ (නාග) තෙමේ වනයෙහි ඇලෙයි.”
4. 6.
පිණ්ඩොල සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් පිණ්ඩොලභාරද්වාජ තෙමේ භාග්යවතුන් වහන්සේට නුදුරෙහි පර්යංකයක් බැඳ, කය ඍජුව තබාගෙන, ආරණ්යක වූ, පිණ්ඩපාතික වූ, පාංශුකූලික වූ, තෙචීවරික වූ, අල්පේච්ඡ වූ, සන්තුෂ්ට වූ, විවේකී වූ, අසංසර්ග (ගණයා හා නොගැවසෙන) වූ, පටන්ගත් වීර්ය ඇති, ධුතවාද ඇති, අධිචිත්තයෙහි (සමාධියෙහි) යෙදුණු කෙනෙක් වී හුන්නේ වෙයි.
2. භාග්යවතුන් වහන්සේ, නුදුරෙහි පර්යංකයක් බැඳ, කය ඍජුව තබාගෙන හුන්, ආරණ්යක වූ, පිණ්ඩපාතික වූ, පාංශුකූලික වූ, තෙචීවරික වූ, අල්පේච්ඡ වූ, සන්තුෂ්ට වූ, විවේකී වූ, අසංසර්ග වූ, පටන්ගත් වීර්ය ඇති, ධුතවාද ඇති, අධිචිත්තයෙහි යෙදුණු ආයුෂ්මත් පිණ්ඩොලභාරද්වාජයන් දුටු සේක.
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ උදානය පහළ කළ සේක: