4. 10.
සාරිපුත්ත සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් සාරිපුත්ර තෙමේ භාග්යවතුන් වහන්සේට නුදුරෙහි පර්යංකයක් බැඳ, කය ඍජුව තබාගෙන, තමාගේ උපසමය (කෙලෙස් සන්සිඳීම) ප්රත්යවේක්ෂා කරමින් (බලමින්) හුන්නේ වෙයි. භාග්යවතුන් වහන්සේ නුදුරෙහි පර්යංකයක් බැඳ, කය ඍජුව තබාගෙන, තමන්ගේ උපසමය ප්රත්යවේක්ෂා කරමින් හුන් ආයුෂ්මත් සාරිපුත්රයන් දුටු සේක.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“උපශාන්ත වූ ශාන්ත සිත් ඇති, සිඳින ලද තණ්හා රැහැන් ඇති භික්ෂුවට ඉපදීම් නැමැති සසර ක්ෂය විය. හෙතෙම මාර බැම්මෙන් මිදුනේය.”
මෙඝිය වර්ගය සිව්වැනි යි.
එහි උද්දානය (සූත්ර නම්ාවලිය):
මෙඝිය, උද්ධත, ගොපාල, ජුණ්හ, පස්වන නාග, පිණ්ඩොල, සාරිපුත්ත, අටවන සුන්දරී, උපසෙන, වඞ්ගන්තපුත්ත, (දසවන) සාරිපුත්ත ද යන මේ දසයයි.
5. සොණවග්ගො පඤ්චමො
5. 1.
රාජ සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. ඒ කාලයෙහි පසේනදි කොසොල් රජ තෙම මල්ලිකාදේවි සමග මහා ප්රාසාදය මත්තේ සිටියේවේ. ඉක්බිති පසේනදී කොසොල් රජතෙම මල්ලිකාදේවිට “මල්ලිකාවෙනි, තොපට තමාට වඩා අතිශයින් ප්රිය කෙනෙක් ඇද්දැයි” ඇසීය.
“මහරජ, මට මට වඩා ප්රිය අන්කිසිවෙක් නැතැයි” කීවාය.
“මහරජ, ඔබට ඔබට වඩා ප්රිය අන්කෙනෙක් ඇත්දැයි” ඇසුවාය.
“මල්ලිකාවෙනි මටත් මට වඩා ප්රිය අන් කෙනෙක් නැතැයි” කීයේය.
ඉක්බිති පසේනදී කොසොල් රජ තෙම ප්රාසාදයෙන් බැස භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි පසේනදී කොසොල් රජතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ සැලකළේය:
“ස්වාමීනි, මෙහි මම මල්ලිකා දේවිය සමග මහාප්රාසාදය මත්තෙහි සිටියේය. මල්ලිකා දේවියගෙන් ‘මල්ලිකාවෙනි තොපට තමාට වඩා අතිශයින් ප්රිය කෙනෙක් ඇද්දැයි’ ඇසීමි. මෙසේ ඇසූ කල්හි මල්ලිකා දේවී ‘මට, මහරජ මට වඩා ප්රිය කෙනෙක් නැතැයි’ උත්තර දුන්නාය. ‘මහරජ, ඔබටවත් ඔබට වඩා ප්රිය අන්කෙනෙක් ඇද්දැයි’ ඈ ඇසුවාය. ස්වාමීනි, මෙසේ කියනු ලැබූ මම මල්ලිකා දේවීට ‘මල්ලිකාවෙනි, මටද මට වඩා ප්රිය කෙනෙක් නැතැයි’ කීවෙමි.”
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන, ඒ වේලාවෙහි මේ ප්රීතිවාක්යය ප්රකාශ කළ සේක.