1. 3.
තතිය බොධි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල වාසය කරණ සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව විඳිමින් සත් දිනක් එකම පළඟින් වැඩසිටියේ වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත්දින ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට රාත්‍රි අන්තිම යාමයෙහි ප්‍රතීත්‍ය සමුත්පාදය මුල සිට අග තෙක්ද අග සිට මුල තෙක්ද මනාකොට සිහිකළ සේක: “මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදයි. මෙය නැති කල්හි මෙය නොවෙයි. මෙය නැතිකිරීමෙන් මෙය නැතිවෙයි. යම් ඒ නොදැනීම් හේතුවෙන් සංස්කාර වන්නේය. සංස්කාර හේතුවෙන් විඥානය වන්නේය. විඥාන හේතුවෙන් නාම රූප වන්නේය. නාමරූප හේතුවෙන් ආයතන සය ඇති වන්නේය. ආයතන සය හේතුවෙන් ස්පර්ශ වන්නේය. ස්පර්ශ හේතුවෙන් වේදනා වන්නේය. වේදනා හේතුවෙන් තෘෂ්ණාව වන්නේය. තෘෂ්ණා හේතුවෙන් උපාදාන වන්නේය. උපාදාන හේතුවෙන් භව වන්නේය. භව හේතුවෙන් ජාති වන්නේය. ජාති හේතුවෙන් ජරා, මරණද, ශෝක, වැළපීම්, කායික දුක්, දොම්නස් වන්නේය. මෙසේ ඒ සියලු දුක් රාශියේ ඇතිවීම වෙයි.”
නොදැනීම ඉතිරි නොකළ නැතිකිරීමෙන් සංස්කාරයන්ගේ නැති කිරීම වන්නේය. සංස්කාරයන්ගේ නැති කිරීමෙන් විඥානය නැති කිරීම වන්නේය. විඥානය නැති කිරීමෙන් නාමරූප නැතිකිරීම වන්නේය. නාමරූප නැතිකිරීමෙන් ආයතන සය නැතිකිරීම වන්නේය. ආයතන සය නැති කිරීමෙන් ස්පර්ශය නැති කිරීම වන්නේය. ස්පර්ශය නැති කිරීමෙන් වේදනාව නැතිකිරීම වන්නේය. වේදනාව නැතිකිරීමෙන් තෘෂ්ණාව නැතිකිරීම වන්නේය. තෘෂ්ණාව නැතිකිරීමෙන් දැඩිව අල්වාගැනීම නැතිකිරීම වන්නේය. දැඩිව අල්වා ගැනීම නැතිකිරීමෙන් භවය නැති කිරීම වන්නේය. භවය නැතිකිරීමෙන් ජාතිය (ඉපදීම) නැතිකිරීම වන්නේය. ජාතිය (ඉපදීම) නැතිකිරීමෙන් ජරා, මරණද, ශෝක, වැළපීම්, කායික දුක්, දොම්නස් නැතිකිරීම් නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් රාශියේ නැතිවීමවෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක.
කෙළෙස් තවන වීර්යය ඇති පවු පිටමංකළ යොගී තෙමේ තමහට බොධිපාක්‍ෂීය ධර්ම පහළ වන කෙනෙහිම අඳුර දුර ගසා අහස බබුලුවන හිරුමෙන් සියලු මර සෙනඟ බිඳහරිමින් සිටී.
1. 4.
නිග්‍රොධ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර අජපාල නුගරුක මුල වාසය කරණ සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව විඳිමින් සත් දිනක් එකම පළඟින් වැඩ සිටියේ වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දින ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිටි සේක. ඉක්බිති එක්තරා අනුන්ට නින්දා කරන ගති ඇති බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටියාවූ ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය:
“භගවත් ගෞතමයන් වහන්ස කරුණු කීයකින් බ්‍රාහ්මණයෙක් වේද? කෙනෙකු බමුණකු කරණ ධර්මයෝ කවරහුද?” යනුවෙනි.
ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළසේක.
පවු දුරුකළ මානාහංකාරයෙන් අනුන් හෙලා නොදක්නා කෙලෙස් කසට නැති, කෙලෙසුන් කෙරෙන් සිත රැකගත්, සතර මග නුවණින් නිවන් කරා පැමිණි මාර්ග බ්‍රහ්මචර්යය වැසනිමවූ යමෙක් වේද, හේ සැබෑ බ්‍රාහ්මණයා නම් වේ. ලොව කිසි අරමුණකුත් රාගාදී වශයෙන් නොගන්නා හෙතෙම තමා බමුණෙකැයි කියානම් ඒ කරුණු සහිතය.