බොධි වර්ගය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
1. 1.
පඨම බොධි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල වාසය කරණ සේක. භාග්‍යවතුන්වහන්සේ ඒ කාලයෙහි සත් දවසක් නිවන් රසය විඳිමින් එකම ආසනයකින් හුන්සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් ඒ සිත එකඟ කිරීමෙන් නැගිට රාත්‍රියෙහි පළමුවැනි යාමයෙහි හේතු ප්‍රත්‍යය ධර්මය අනුපිළිවෙළින් මෙනෙහි කළ සේක: “මෙසේ මෙය ඇතිකල්හි මෙසේවේ. මෙය ඇතිවීමෙන් මෙය උපදී එනම්:-නොදැනීම, ඇතිබව හේතු කොටගෙන සංස්කාර (කර්ම) වන්නේය. සංස්කාර ඇති බැවින් විඥානය (විපාකසිත) වන්නේය. විඥානය ඇති බැවින් නාමරූප (පංචස්කන්ධය) වන්නේය. නාමරූප ඇති බැවින් ආයතන සය වන්නේය. ආයතන සය ඇති බැවින් විපාක ස්පර්ශ චෛතසිකයවේ. ස්පර්ශය ඇති බැවින් වේදනාව ඇති වන්නේය. වේදනා ඇති බැවින් තෘෂ්ණාව ඇතිවන්නේය. තෘෂ්ණාව ඇති බැවින් දැඩිවගැන්ම ඇති වන්නේය. දැඩිව ගැන්ම ඇති බැවින් භවය (කර්මද ස්කන්ධද) වන්නේය. භවය ඇති බැවින් උත්පත්තිය වන්නේය. උත්පත්තිය ඇති බැවින් ජරාව, මරණය, ශෝකය, වැළපීම, කයට දුක්, සිතට දුක් දැඩිවෙහෙස යන මොව්හු පහළවෙත්. මෙසේ මේ සියළු දුක් රැස පහළවීම වේයයි” මෙනෙහි කළ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ අවස්ථාවෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක.
කෙලෙස් තවන වීර්යය ඇති ධ්‍යාන කරණ යොගියාට යම් වේලාවක සත්තිස්බෝධිපාක්‍ෂික ධර්මයෝ පහළ වෙත්ද? එකෙණෙහි හේතු ප්‍රත්‍යයෙන් හටගත් දුක් රාශිය දනීද එහෙයින් ඔහුගේ සියළු සැකයෝ දුරුවෙත්.
1. 2.
දුතිය බොධි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල වාසය කරණ සේක. භාග්‍යවතුන්වහන්සේ ඒ කාලයෙහි සත් දවසක් නිවන් රසය විඳිමින් එකම ආසනයකින් හුන්සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් ඒ සිත එකඟ කිරීමෙන් නැඟිට රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි හේතු ප්‍රත්‍යය ධර්මය අග සිට මුලට මෙනෙහි කළ සේක: “මෙසේ මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධවේ. එනම් “නොදැනීම නැති බව හේතුකොට ගෙන සංස්කාර (කර්ම) නොවන්නේය. සංස්කාර (කර්ම) නැති බව හේතුකොටගෙන විඥාන විපාක සිත් නොවන්නේය. විඥානය නැතිබව හේතුකොට ගෙන නාමරූප (පංචස්කන්ධය) නොවන්නේය. නාමරූප නැතිබව හේතුකොටගෙන ආයතන සය නොවන්නේය. ආයතන සය නැතිබව හේතුකොටගෙන විපාක ස්පර්ශය නොවන්නේය. විපාක ස්පර්ශය නැතිබව හේතුකොටගෙන වේදනාව නොවන්නේය. වේදනාව නැතිබව හේතුකොටගෙන තෘෂ්ණාව නොවන්නේය. තෘෂ්ණාව නැතිබව හේතුකොටගෙන දැඩිව ගැන්ම නොවන්නේය. දැඩිව ගැන්ම නැතිබව හේතුකොටගෙන භව (කර්මද) ස්කන්ධද නොවන්නේය. භවය නැති බව හේතුකොට ගෙන උත්පත්තිය නොවන්නෙය. උත්පත්තිය නැතිබව හේතුකොටගෙන ජරාව, මරණය, ශෝකය, වැලපීම, කයට දුක්, සිතට දුක්, දැඩි වෙහෙස යන මොව්හු නොවෙත්. මෙසේ මේ සියළු දුක් රැස් නොවීම වේ.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.
කෙලෙස් තවන වීර්යය ඇති ධ්‍යාන කරණ පව් දුරු කළ යොගීහට බොධිපාක්‍ෂික ධර්ම පහළ වන කල අවිද්‍යාදී හේතුන්ගෙන් ගෙවීමට කරුණුවූ නිවන ප්‍රත්‍යක්‍ෂ කරණ බැවින් ඔහුගේ සියලු සැකයෝ දුරුවෙත්.
1. 3.
තතිය බොධි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පළමුවෙන්ම නෙරංජරා ගඟ අද්දර බෝගස මුල වාසය කරණ සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව විඳිමින් සත් දිනක් එකම පළඟින් වැඩසිටියේ වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත්දින ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට රාත්‍රි අන්තිම යාමයෙහි ප්‍රතීත්‍ය සමුත්පාදය මුල සිට අග තෙක්ද අග සිට මුල තෙක්ද මනාකොට සිහිකළ සේක: “මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදයි. මෙය නැති කල්හි මෙය නොවෙයි. මෙය නැතිකිරීමෙන් මෙය නැතිවෙයි. යම් ඒ නොදැනීම් හේතුවෙන් සංස්කාර වන්නේය. සංස්කාර හේතුවෙන් විඥානය වන්නේය. විඥාන හේතුවෙන් නාම රූප වන්නේය. නාමරූප හේතුවෙන් ආයතන සය ඇති වන්නේය. ආයතන සය හේතුවෙන් ස්පර්ශ වන්නේය. ස්පර්ශ හේතුවෙන් වේදනා වන්නේය. වේදනා හේතුවෙන් තෘෂ්ණාව වන්නේය. තෘෂ්ණා හේතුවෙන් උපාදාන වන්නේය. උපාදාන හේතුවෙන් භව වන්නේය. භව හේතුවෙන් ජාති වන්නේය. ජාති හේතුවෙන් ජරා, මරණද, ශෝක, වැළපීම්, කායික දුක්, දොම්නස් වන්නේය. මෙසේ ඒ සියලු දුක් රාශියේ ඇතිවීම වෙයි.”