7. 1. 3.
473. “මම බොහෝවූ ව්රත චරියාවෙන් හා ආයාචනාවලින්ද, මවුපියන් විසින් දුකසේ ලැබගත් එකම ප්රිය පුත්රයෙක්වීමි.
474. “යහපත කැමැති හිතෛෂිවූ ඒ මවුපිය දෙදෙනා මට අනුකම්පා උපදවා බුදුන්ට මා භාරකළහ.
475. “සැපසේ වැඩුවාවූද සුඛුමාලවූද දුකසේ ලැබගත් අපගේ පුත්රයා නාථ වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට පවරා දෙමි.
476. “ශාස්තෲන් වහන්සේද මා පිළිගෙණ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ. ‘මොහු වහා පැවිදි කරව, මෙතෙම ප්රධාන පුරුෂයෙක්ය.’
477. “මා පැවිදි කරවා ශාස්තෲන් වහන්සේ විහාරයට පිවිසිසේක. හිර නොබැසි කල්හිම මගේ සිත කෙලෙසුන්ගෙන් මිදුනෙමි. රහත් බවද ලදිමි.
478. “ඉන්පසුව ශාස්තෲන් වහන්සේ ඵල සමවතින් නැගිට ‘භද්ද එව’ යන වචනයෙන්ම මගේ උපසම්පදාව සිදුවිය.
479. “උත්පත්තියෙන් සත්වෙනි හවුරුද්දෙහි මම උපසම්පදාව ලදිමි. ත්රිවිද්යාවද ලදිමි. ධර්මයක යහපත් බව ආශ්චර්යයි.”
මෙසේ ආයුෂ්මත් භද්ද තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
භද්ද ථේර ගාථා
7. 1. 4.
480. “ගඳකිළි සෙවනේදී සක්මන් කරන, මිනිසුන්ට උතුම්වූ බුදුරජාණන් වහන්සේ දැක එතැනට එළඹ උන්වහන්සේට වැන්දෙමි.
481. “සිවුර ඒකාංශකොට දෙඅත් එකතුකොට වීතරාගීවූ සියලුම සත්වයින්ට උතුම් බුදුන්ට අනුව මමද සක්මන් කෙළෙමි.
482. “ඉක්බිති සියල්ල දත් බුදුරජාණන් වහන්සේ මගෙන් ප්රශ්න ඇසීය. මමද බියක් හා තැතිගැණීමක් නැතිව ශාස්තෲන් වහන්සේට උත්තර දුනිමි.
483. “ප්රශ්න විසඳූ කල්හි තථාගතයන් වහන්සේ අනුමෝදන් විය. ඉක්බිති භික්ෂු සංඝයා බලා මේ කාරණය වදාළහ.
484. “අඟු මගධ දෙරට වැස්සන්ට ලොකු ලාභයෙකි. කුමක් හෙයින්ද ඔවුන්ගේ චීවර පිණ්ඩපාත සයනාසනාදී ප්රත්යය සොපාක ස්ථවිරයන් වහන්සේ පරිභොග කරන හෙයිනි.
485. “පෙර ගමන් කිරීම, පවන්සැලීමාදී ක්රියාවන්ගෙන්ද ඔවුන්ටවූයේ ලාභයක්යයි කියමි. අද පටන් සොපාක ස්ථවිරයන් වහන්සේ දැකීමට එළඹෙන්නෙහිය. සොපාකය, තොපට මේ ප්රශ්න ව්යාකරණය උපසම්පදාව වූවෙහිය.
486. “මම සත්වෙනි හවුරුද්දේදී උපසම්පදාව ලැබ අන්තිම ශරීරයද දරමි. ධර්මයාගේ යහපත් බව ආශ්චර්යයි.”
මෙසේ ආයුෂ්මත් සොපාක තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
සොපාක ථේර ගාථා
7. 1. 5.
487. “පෙර මම අතින් සිඳින තණ කුටියක් කොට එහි හොත්තෙමි. එයින් මට සරභංගයයි නාම සම්මුතිය විය.
488. “මා අද පටන් තෘණකුටි බැඳීම නොවටී. කුමක් හෙයින්දයත් කීර්තිමත් බුදුරජාණන් වහන්සේ විසින් ශික්ෂාපද පනවනලද හෙයිනි.
489. “සියල්ල ශෙෂනොකොට රෝගයන්ට හේතුවූ පඤ්චස්කන්ධය පෙර නොදැක්කෙමි. ඒ මම බුදුන්ගේ අවවාද අනුව කටයුතු කිරීම නිසා පඤ්චස්කන්ධ නම් වූ රෝගය නිසා විදර්ශනා සහිත මාර්ග ප්රඥාවෙන් දැක්කෙමි.
490. “යම් මාර්ගයකින් විපස්සී බුදුරජාණන් වහන්සේ ගියෙහිද, යම් මාර්ගයකින් සිඛී, කකුසඳ, කොණාගම කාශ්යප යන බුදුවරු ගියෝද, ඒ ආර්යමාර්ගයෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේත් ගියසේක.