7. 1. 4.
480. “ගඳකිළි සෙවනේදී සක්මන් කරන, මිනිසුන්ට උතුම්වූ බුදුරජාණන් වහන්සේ දැක එතැනට එළඹ උන්වහන්සේට වැන්දෙමි.
481. “සිවුර ඒකාංශකොට දෙඅත් එකතුකොට වීතරාගීවූ සියලුම සත්වයින්ට උතුම් බුදුන්ට අනුව මමද සක්මන් කෙළෙමි.
482. “ඉක්බිති සියල්ල දත් බුදුරජාණන් වහන්සේ මගෙන් ප්රශ්න ඇසීය. මමද බියක් හා තැතිගැණීමක් නැතිව ශාස්තෲන් වහන්සේට උත්තර දුනිමි.
483. “ප්රශ්න විසඳූ කල්හි තථාගතයන් වහන්සේ අනුමෝදන් විය. ඉක්බිති භික්ෂු සංඝයා බලා මේ කාරණය වදාළහ.
484. “අඟු මගධ දෙරට වැස්සන්ට ලොකු ලාභයෙකි. කුමක් හෙයින්ද ඔවුන්ගේ චීවර පිණ්ඩපාත සයනාසනාදී ප්රත්යය සොපාක ස්ථවිරයන් වහන්සේ පරිභොග කරන හෙයිනි.
485. “පෙර ගමන් කිරීම, පවන්සැලීමාදී ක්රියාවන්ගෙන්ද ඔවුන්ටවූයේ ලාභයක්යයි කියමි. අද පටන් සොපාක ස්ථවිරයන් වහන්සේ දැකීමට එළඹෙන්නෙහිය. සොපාකය, තොපට මේ ප්රශ්න ව්යාකරණය උපසම්පදාව වූවෙහිය.
486. “මම සත්වෙනි හවුරුද්දේදී උපසම්පදාව ලැබ අන්තිම ශරීරයද දරමි. ධර්මයාගේ යහපත් බව ආශ්චර්යයි.”
මෙසේ ආයුෂ්මත් සොපාක තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
සොපාක ථේර ගාථා
7. 1. 5.
487. “පෙර මම අතින් සිඳින තණ කුටියක් කොට එහි හොත්තෙමි. එයින් මට සරභංගයයි නාම සම්මුතිය විය.
488. “මා අද පටන් තෘණකුටි බැඳීම නොවටී. කුමක් හෙයින්දයත් කීර්තිමත් බුදුරජාණන් වහන්සේ විසින් ශික්ෂාපද පනවනලද හෙයිනි.
489. “සියල්ල ශෙෂනොකොට රෝගයන්ට හේතුවූ පඤ්චස්කන්ධය පෙර නොදැක්කෙමි. ඒ මම බුදුන්ගේ අවවාද අනුව කටයුතු කිරීම නිසා පඤ්චස්කන්ධ නම් වූ රෝගය නිසා විදර්ශනා සහිත මාර්ග ප්රඥාවෙන් දැක්කෙමි.
490. “යම් මාර්ගයකින් විපස්සී බුදුරජාණන් වහන්සේ ගියෙහිද, යම් මාර්ගයකින් සිඛී, කකුසඳ, කොණාගම කාශ්යප යන බුදුවරු ගියෝද, ඒ ආර්යමාර්ගයෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේත් ගියසේක.
491. “පහකළ තෘෂ්ණාව ඇති ප්රතිසන්ධිය නැතිකළ සත් බුදුවරයෝ නිවන් ලැබුවාහුය. ඒ සත්බුදුවරයන් විසින් ශාසන ධර්මය ප්රකාශ කරන ලදහ. ධර්ම ස්වභාවයෙන්ම තාදීගුණ ඇත්තෝවූහ.
492. “දුක්ඛසත්යය, සමුදය, නිරෝධ, මාර්ග යන දුක් නසන චතුරාර්ය සත්යධර්මය සත්වයින්ට අනුකම්පාවෙන් දේශනා කරන ලදහ.
493. “නිවන ලැබූ කල්හි අනන්ත සංසාර දුක් නවතී. බිඳෙන මේ කය හා ජීවිත පරම්පරාව නවතී. නැවත ඉපදීමක් නැත. සියලු භවයන්ගෙන් මිදුනෙමි.”
මෙසේ ආයුෂ්මත් සරභංග තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
සරභංග ථේර ගාථා
එහි උද්දානය:
සුන්දරසමුද්ද තෙරණුවෝ ද, ලකුණ්ටකභද්දිය තෙරණුවෝ ද, භද්ද තෙරණුවෝ ද, සොපාක තෙරණුවෝ ද, මහර්ෂී වූ සරභංග තෙරණුවෝ ද යන මේ සත්තක නිපාතයෙහි තෙරවරු පස් දෙනෙකි. ගාථාවෝ පන්තිසකි.
සත්තක නිපාතය නිමි.