6. 1. 8.
417. “සූර්ය වංසයෙහි උපන්නා වූද, පසැස් ඇත්තාවූද, බුදුරජාණන් වහන්සේ විසින් මනා කොට දේශනා කරනලද ධර්මය සියලුම සංයෝජනයන් ඉක්මවීමෙන් සියලු සසරදුක නැසුවෙහිය.
418. “තෘෂ්ණාමූලය වියලවා සත්වයන්ගේ ඇතිවීමට හා නැතිවීමට හේතුවවූ කර්මක්ලෙශයන් සිඳ එතරවූයේ නෛයර්යාණික නිවනට පැමිණියෙහිය.
419. “භව චක්‍රය නසන්නා වූද, ආත්ම භාව නම්වූ යන්ත්‍රය නැතිකරන්නාවූද, ඤාණ නැමති වජ්රායුධය හෙළමින්,
420. “ත්‍රිවිධ වේදනාවන් දුක් වශයෙන් සලකා උපාදානයන්ගෙන් මිදුනේ කාමභව ආදී නවවිධ භවය ගිනිගෙණ දිලිසෙන අගුරු වළක්සේ ඤාණයෙන් ප්‍රත්‍යවෙක්ෂා කොට,
421. “මහ සැපතක් වැනිවූද ගැඹුරක් වැනිවූද, ජරාමරණ වළකන්නාවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක් සමනය කරණ ක්ෂේමස්ථානයක් වැනිය.
422. “කර්මය කර්මය හැටියටත් විපාකය විපාකය හැටියටත් දැන පටිච්චසමුප්පාද ධර්මයන්ගේ යම්බඳු ආලෝකයක් ඇද්ද, ඒ ආලෝකය දිටිමි. ශාන්තවූ නිර්වාණය අවසාන යහපතසේ දිටිමි.”
ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
මිගජාල ථේර ගාථා.
6. 1. 9.
423. “මම භොග මද, ජාතී මද, ඓශ්චර්ය මද ආදියෙන් මත්වූයේ ආරොහපරිනාහ (අංග ප්‍රත්‍යංග ශොභන තාවය) සම්පත්තියෙන් මදයට පැමිණියේ හැසුරුනෙමි.
424. “බාල බැවින් හා අතිමානයෙන් තද වූයේ නොනැමෙන ස්වභාව ඇත්තේ කිසිවෙකු උසස්කොටද, සමකොටද නොසිතුවෙමි.
425. “ගරුකළ යුත්තාට ගරු නොකොට මානයෙන් තද වූයේ කිසිවෙකුට ආදර නැතුව මවුපියන් ආදී ගරුකටයුත්තන්ට නොවැන්දෙමි.
426. “උත්තම පුරිස දම්ම සාරථිවූද, සූර්යයාමෙන් බබළන භික්ෂූන් වහන්සේගෙන් පිරිවරා ගන්නාලද අග්‍රවූද නායකවූද බුදුරජාණන් වහන්සේ දැක,
427. “මාන්‍යයත්, මදයත් හැර දමා පැහැදුනාවූ සිතින් සියලුම සත්වයින්ට උත්තමවූ බුදුරජාණන් වහන්සේට මස්තකයෙන් නමස්කාර කරෙමි. (ඔලුව බිම තබා වැන්දෙමි.)
428. “අතිමානයත් හීන මානයත් දෙක ප්‍රහීණ කෙළෙමි. සිත එකඟ කෙළෙමි. මමය මාගේය යන මානය සිඳින ලදී සියලුම මානයෝ නැති කෙළෙමි.”
ආයුෂ්මත් ජෙන්ත පුරෝහිතපුත්ත තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
ජෙන්ත ථේර ගාථා.
6. 1. 10.
429. “යම් කලෙක්හි සත් හැවිරිදි වයස් ඇති අළුත් පැවිද්දෙක්ව ඉර්ධි උපදවා බල සම්පන්න නාග රාජයෙකු දමනය කොට
430. “අනොතත්ත විලින් ජලය රැගෙණ උපාධ්‍යායන් වහන්සේට දුනිමි. ඒ දැක බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.
431. “සාරිපුත්‍රය, අග්‍රඵල සමාපත්තියෙන් සිත තැන්පත් කළාවූ දිය කළයක් රැගෙන එන කුමාරයා බලව.