6. 1. 9.
423. “මම භොග මද, ජාතී මද, ඓශ්චර්ය මද ආදියෙන් මත්වූයේ ආරොහපරිනාහ (අංග ප්‍රත්‍යංග ශොභන තාවය) සම්පත්තියෙන් මදයට පැමිණියේ හැසුරුනෙමි.
424. “බාල බැවින් හා අතිමානයෙන් තද වූයේ නොනැමෙන ස්වභාව ඇත්තේ කිසිවෙකු උසස්කොටද, සමකොටද නොසිතුවෙමි.
425. “ගරුකළ යුත්තාට ගරු නොකොට මානයෙන් තද වූයේ කිසිවෙකුට ආදර නැතුව මවුපියන් ආදී ගරුකටයුත්තන්ට නොවැන්දෙමි.
426. “උත්තම පුරිස දම්ම සාරථිවූද, සූර්යයාමෙන් බබළන භික්ෂූන් වහන්සේගෙන් පිරිවරා ගන්නාලද අග්‍රවූද නායකවූද බුදුරජාණන් වහන්සේ දැක,
427. “මාන්‍යයත්, මදයත් හැර දමා පැහැදුනාවූ සිතින් සියලුම සත්වයින්ට උත්තමවූ බුදුරජාණන් වහන්සේට මස්තකයෙන් නමස්කාර කරෙමි. (ඔලුව බිම තබා වැන්දෙමි.)
428. “අතිමානයත් හීන මානයත් දෙක ප්‍රහීණ කෙළෙමි. සිත එකඟ කෙළෙමි. මමය මාගේය යන මානය සිඳින ලදී සියලුම මානයෝ නැති කෙළෙමි.”
ආයුෂ්මත් ජෙන්ත පුරෝහිතපුත්ත තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
ජෙන්ත ථේර ගාථා.
6. 1. 10.
429. “යම් කලෙක්හි සත් හැවිරිදි වයස් ඇති අළුත් පැවිද්දෙක්ව ඉර්ධි උපදවා බල සම්පන්න නාග රාජයෙකු දමනය කොට
430. “අනොතත්ත විලින් ජලය රැගෙණ උපාධ්‍යායන් වහන්සේට දුනිමි. ඒ දැක බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.
431. “සාරිපුත්‍රය, අග්‍රඵල සමාපත්තියෙන් සිත තැන්පත් කළාවූ දිය කළයක් රැගෙන එන කුමාරයා බලව.
432. “බලන්නවුන්ට ප්‍රශාදය ඇතිකරන ආචාරවතින්ද යහපත් ඉරියව්වෙන්ද, අනුරුද්ධ ස්ථවිරයන් වැනි විශාරද ඉර්ධියෙන්ද යුක්තවූ සාමණෙරයෙක්වේද,
433. “ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු වශයෙන් උත්තමවූයේ යහපත් බවට පැමිණියේ හික්මුණේ කළ කටයුතු ඇති අනුරුද්ධ ස්ථවිරයන් විසින් හික්මවන ලද්දේ හෙතෙම,
434. “චිත්ත විමුක්තිය උත්තමකොට ඇති පරම ශාන්ති සැපයට පැමිණි ඒ සුමන සාමණෙර නම්වූ මම රහත් කෙනෙක් හැටියට කිසිවෙක් දැනගනුවයි නොසිතුවෙමි.”
ආයුෂ්මත් සුමන තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
සුමන ථේර ගාථා.
6. 1. 11.
435. “වාත රෝගයෙන් මඩනා ලද්දේ මහ වනයෙහි වාසය කරන්නේ ප්‍රත්‍ය දුර්ලභවූ වාත රෝගයට අහිතවූ ස්ථානයෙහි මහණ තොප කුමක් කරන්නෙහිද?
436. “මහත්වූ ප්‍රීති සැපයෙන් මුළු ශරීරයම සැපවත් කොට අරණ්‍ය වාසයෙහි සැහැල්ලු පැවතුම් ඇතුව සියල්ල ඉවසා වනයෙහි වාසය කෙළෙමි.
437. “සතිපට්ඨාන ඉන්ද්‍රිය බල බොඤ්ජංග ධර්මයන් වඩමින් කෙලෙස් නැතිව වාසය කරමි.
438. “සියලු කෙලෙසුන්ගෙන් වෙන්ව පිරිසිදු සිතක් ඇතිව නොකැළඹුනාවූ අදහසින් නිතර නුවණින් සිහි කරමින් ආශ්‍රව ධර්ම රහිතව වාසය කෙළෙමි.
439. “ආධ්‍යාත්මික බාහිර වශයෙන් පැවති සියලුම ක්ලේශයෝ මතුනූපදනා පරිද්දෙන් විනාශකර දැමීමි.
440. “ස්කන්ධ පංචකය පිරිසිඳීමෙන් සියලු මුල් සිඳ දුක් නැතිකළ බවට පැමිණියෙමි. මින්මතු නැවත ඉපදීමක් මට නැත.”
ආයුෂ්මත් න්හාතකමුනි තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
න්හාතකමුනි ථේර ගාථා.
6. 1. 12.
441. “උත්තම දමනයෙන් දමනයවූ කය සමනය කළ මනාකොට දැන කෙළෙසුන්ගෙන් මිදුනාවූ උපශාන්ත ගුණයෙන් අටලෝ දහමෙහි කම්පා නොවන ගුණයෙනුත් යුක්තවූ ක්‍රොධ නොකරන මට ක්‍රෝධයක් කොයින්ද?
442. “යමෙක් කිපෙන්නෙකුට කිපේද, ඔහුට එයින් පව් ඇතිවේ. කිපෙන්නාට නොකිපෙන තැනැත්තා දිනිය නොහැකි යුද්ධයකින් ජය ගත්තෙක් මෙනි.
443. “අනුන් කිපි බව දැන තමා සංසිඳී නොකිපී සිටියොත් තමාටත් අනුන්ටත් කියන දෙපක්ෂයටම ඔහු යහපතක් කළ කෙනෙකි.
444. “තමාගේත් අනුන්ගේත් යහපතට හේතුවන ක්‍රොධ නොකිරීමේ ප්‍රතිකර්මය කළ තැනැත්තා ධර්මය නූගත් අඥාන ජනයා මෝඩයෙක්කොට සලකයි.