6. 1. 4.
393. කුල්ල ස්ථවිරයන් වහන්සේ සොහොනට ගොස් උඩුකුරුව හෝනා පණුවන් විසින් කනු ලබන ස්ත්රියක් පිළිබඳ මෘත ශරීරයක් දුටුයේය.
394. “බාලයන්ගේ සතුටට හේතුවූ උඩ වන මුඛයන්ගෙන් හා පහත වන මුඛයන්ගෙන් අශුචි වැගිරෙන්නාවූද, දුගඳ හමන්නාවූද, දුකෙන් පෙළෙන්නාවූද ශරීරය කුල්ල ස්ථවිරයෙනි බලව.
395. “ඤාණය පහළකර ගැණීමට ධර්ම නැමැති කණ්ණාඩිය ගෙණ ඇතුළතත්, පිටතත් පිළිකුල්වූ මේ ශරීරය ඤාණයෙන් සිහිකොට බැලීමි.
396. “මේ ශරීරය යම්සේද අන්ය ශරීරත් එසේමැයි අන්ය ශරීර යම්සේද මේ ශරීරයත් එසේමැයි. යට කොටස යම්සේද උඩ කොටසත් එසේමැයි. උඩ කොටස යම්සේද යට කොටසත් එසේමැයි.
397. “දහවල් යම්සේද රාත්රියත් එසේමැයි. රාත්රිය යම්සේද, දහවලත් එසේමැයි බාල තරුණ කාලවල යම්සේද මහළු කලත් එසේමැයි. මහළු කල යම්සේද බාල තරුණ කලත් එසේමැයි.
398. “එකඟවූ සිතින් ධර්මය බලන්නහුට ඇතිවන රතිය (ආශාව) පඤ්චාංගික තූර්ය නාදයෙන්ද ඇති නොවේ.”
ආයුෂ්මත් කුල්ල තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
කුල්ල ථේර ගාථා.
6. 1. 5.
399. “ප්රමාද විහරණයෙන් යුක්ත සත්වයා මාලුවා නැමැති වැල වැඩෙන්නාක් මෙන් තණ්හාවෙන් වැඬේ. හෙතෙම වනයෙහි වසන ඵල (ගෙඩි) කැමැති වඳුරෙක් මෙන් භවයෙන් භවයට දිවේ.
400. “යම් පුද්ගලයෙක් ලාමක තණ්හාවෙන් වැඬේද හෙතෙම එම තෘෂ්ණාව දුරුනොකට හැකිව ඊටම යටපත්ව වෙසේ. ඔහු කරා වැටෙන ශෝකයෝ සැවැන්න පදුරෙහි වැටෙන ජල බින්දු මෙන් එකතුව සිටිති.
401. “යහපත්වූ තොපට කියමි. තොප විසින් මෙහි එක් රැස්ව තෘෂ්ණාවේ මුල සිඳිව්. කෙසේදයත් සැවැන්න පඳුරක් ගලවන්නාක් මෙනි.
402. “තද දිය පාරකින් ගඟබඩ බට පඳුරු විනාශ කරන්නාක් මෙන් ක්ලෙශ මාරයාගේ පහරට අසු නොවව්. බුදුන්ගේ වචනය ඉෂ්ට කරව්. දුර්ලභව ලැබූ මේ ක්ෂණ සම්පත්තිය පැහැර නොහරිව්. ක්ෂණ සම්පත්තිය පැහැර හැරියාහු නරකයන්හි දක්නා ලැබේ.
403. “බුදුරජාණන් වහන්සේගේ අවවාදය කරව්. ක්ෂණ සම්පත්තිය ඉක්මවා නොයව්. ක්ෂණ සම්පත්තිය ඉක්මවූවෝ නිරයෙහි උපන්නාහු ශෝක කෙරෙති.”
404. “ප්රමාද දෝෂය (රජස්) දූවිල්ලක් වැනිය. රාගාදී (රජස්) දූවිලි ප්රමාදය නිසා උපදී. අප්රමාදයෙනුත් මාර්ග විද්යාවෙනුත් රාගාදී හුල් (උල්) උදුරා දමව්.”
ආයුෂ්මත් මාලුංක්යපුත්ත තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
මාලුංක්යපුත්ත ථේර ගාථා.
6. 1. 6.
405. “මම විසිපස් අවුරුද්දක් පැවිදිව සිටියේද අසුරුසනක් ගසන කාලය පමණකුදු චිත්ත ශාන්තියක් නොලදිමි.
406. “සිතේ එකඟ බවක් නොලැබ කාම රාගයෙන් පීඩිතව දෙඅත් බැඳගෙණ අඬමින් විහාරයෙන් නික්ම”
407. “ආයුධයක් ගෙනෙමි. මගේ ජීවිතය කවර ප්රයෝජනයක්ද? ශික්ෂාව හැර කාලක්රියා කරන්නේ කෙසේද?
408. “ඒ මම ආයුධය ගෙණ ඇඳෙහි හුන්නෙමි. ගෙල සිඳීමට ආයුධය බෙල්ලෙහි තැබුවෙමි.
409. “ඉක්බිති සීලය මෙනෙහි කරණ කල්හි නුවණ පහළ විය. මාර්ගඵල ප්රත්යවේක්ෂා කරණ ඤාණයද පහළ විය.
410. “මගේ සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ධර්මයෙහි ඇති යහපත් බව බලව, ත්රිවිද්යාවද ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද කරණ ලදී.”
ආයුෂ්මත් සප්පදාස තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
සප්පදාස ථේර ගාථා.