6. 1. 5.
399. “ප්‍රමාද විහරණයෙන් යුක්ත සත්වයා මාලුවා නැමැති වැල වැඩෙන්නාක් මෙන් තණ්හාවෙන් වැඬේ. හෙතෙම වනයෙහි වසන ඵල (ගෙඩි) කැමැති වඳුරෙක් මෙන් භවයෙන් භවයට දිවේ.
400. “යම් පුද්ගලයෙක් ලාමක තණ්හාවෙන් වැඬේද හෙතෙම එම තෘෂ්ණාව දුරුනොකට හැකිව ඊටම යටපත්ව වෙසේ. ඔහු කරා වැටෙන ශෝකයෝ සැවැන්න පදුරෙහි වැටෙන ජල බින්දු මෙන් එකතුව සිටිති.
401. “යහපත්වූ තොපට කියමි. තොප විසින් මෙහි එක් රැස්ව තෘෂ්ණාවේ මුල සිඳිව්. කෙසේදයත් සැවැන්න පඳුරක් ගලවන්නාක් මෙනි.
402. “තද දිය පාරකින් ගඟබඩ බට පඳුරු විනාශ කරන්නාක් මෙන් ක්ලෙශ මාරයාගේ පහරට අසු නොවව්. බුදුන්ගේ වචනය ඉෂ්ට කරව්. දුර්ලභව ලැබූ මේ ක්ෂණ සම්පත්තිය පැහැර නොහරිව්. ක්ෂණ සම්පත්තිය පැහැර හැරියාහු නරකයන්හි දක්නා ලැබේ.
403. “බුදුරජාණන් වහන්සේගේ අවවාදය කරව්. ක්ෂණ සම්පත්තිය ඉක්මවා නොයව්. ක්ෂණ සම්පත්තිය ඉක්මවූවෝ නිරයෙහි උපන්නාහු ශෝක කෙරෙති.”
404. “ප්‍රමාද දෝෂය (රජස්) දූවිල්ලක් වැනිය. රාගාදී (රජස්) දූවිලි ප්‍රමාදය නිසා උපදී. අප්‍රමාදයෙනුත් මාර්ග විද්‍යාවෙනුත් රාගාදී හුල් (උල්) උදුරා දමව්.”
ආයුෂ්මත් මාලුංක්‍යපුත්ත තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
මාලුංක්‍යපුත්ත ථේර ගාථා.
6. 1. 6.
405. “මම විසිපස් අවුරුද්දක් පැවිදිව සිටියේද අසුරුසනක් ගසන කාලය පමණකුදු චිත්ත ශාන්තියක් නොලදිමි.
406. “සිතේ එකඟ බවක් නොලැබ කාම රාගයෙන් පීඩිතව දෙඅත් බැඳගෙණ අඬමින් විහාරයෙන් නික්ම”
407. “ආයුධයක් ගෙනෙමි. මගේ ජීවිතය කවර ප්‍රයෝජනයක්ද? ශික්ෂාව හැර කාලක්‍රියා කරන්නේ කෙසේද?
408. “ඒ මම ආයුධය ගෙණ ඇඳෙහි හුන්නෙමි. ගෙල සිඳීමට ආයුධය බෙල්ලෙහි තැබුවෙමි.
409. “ඉක්බිති සීලය මෙනෙහි කරණ කල්හි නුවණ පහළ විය. මාර්ගඵල ප්‍රත්‍යවේක්ෂා කරණ ඤාණයද පහළ විය.
410. “මගේ සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ධර්මයෙහි ඇති යහපත් බව බලව, ත්‍රිවිද්‍යාවද ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද කරණ ලදී.”
ආයුෂ්මත් සප්පදාස තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
සප්පදාස ථේර ගාථා.
6. 1. 7.
411. “කාතියාන ස්ථවිරයෙනි උට්ඨාන වීර්යය කරව, සිහියෙන් යුක්තව හිඳගනුව, නිදි බහුලව නොසිට නිදි වර්ජිත කිරීමෙන් යුක්තවව්. අලසවුව හොත් මාරයා උපක්‍රමයෙන් යටපත් කෙරේ.
412. “කෙසේදයත් මහා සමුද්‍රයාගේ රැළ වේගයකින් යටපත් කරණ පුරුෂයෙකු මෙන් ජාති ජරාදී දුකින් යටපත් කරයි. තොපි අර්හත් ඵල නම්වූ ප්‍රදීපය ආලෝක කරව්, තොපට වෙන පිළිසරණක් නැත්තේය.
413. “ශාස්තෲන් වහන්සේ වනාහි මේ මාර්ගය ජය ගත් සේක. උන්වහන්සේ විසින් ජාති ජරාදිය ඉක්මවන ලදී. පූර්ව අපර යාමයන්හි අප්‍රමාදව භාවනාවෙහි යෙදෙව්.
414. “කාතියාන ස්ථවිරයෙනි, කාමගුණ බන්ධනයෝ දුරු කරව, හිස මුඩු කරන ලද්දේ භික්ෂාචාරය ගනුව, ක්‍රීඩාවෙහිද නිදීමෙහිද යන කරණුවල නොයෙදී ධ්‍යානයෙහි යෙදෙව.
415. “කාතියාන ස්ථවිරයෙනි, ධ්‍යාන වැඩීමෙන් ජයගනුව. බොධිපාක්ෂික ධර්මයන්හි දක්ෂවව, නිරුත්තරවූ පිරිසිදු බවට පැමිණ ජලයෙන් ගිනි කඳක් නිවන්නාක් මෙන් පරිනිර්වාණය කරව.
416. “ලපටි වැලක් මලානික වන්නාක්මෙන් ස්වල්ප මාත්‍ර ආලෝකයක් ඇති පහන සුළඟින් නිවීයේද, එපරිද්දෙන් ඉන්ද්‍රගොත්‍ර මාරසේනාව විනාශ කරව, සියලු වේදනාවන්හි දුරුකරන ලද්දේ සිහිල්වූ තමාගේ පරිනිර්වාණ කාලය බලාපොරොත්තුවව.”
ආයුෂ්මත් කාතියාන තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
කාතියාන ථේර ගාථා.
6. 1. 8.
417. “සූර්ය වංසයෙහි උපන්නා වූද, පසැස් ඇත්තාවූද, බුදුරජාණන් වහන්සේ විසින් මනා කොට දේශනා කරනලද ධර්මය සියලුම සංයෝජනයන් ඉක්මවීමෙන් සියලු සසරදුක නැසුවෙහිය.
418. “තෘෂ්ණාමූලය වියලවා සත්වයන්ගේ ඇතිවීමට හා නැතිවීමට හේතුවවූ කර්මක්ලෙශයන් සිඳ එතරවූයේ නෛයර්යාණික නිවනට පැමිණියෙහිය.
419. “භව චක්‍රය නසන්නා වූද, ආත්ම භාව නම්වූ යන්ත්‍රය නැතිකරන්නාවූද, ඤාණ නැමති වජ්රායුධය හෙළමින්,