6. 1. 13.
447. “(දුශ්චරිත) වැසීමෙන් කෙලෙස් වැඩිවෙයි. නොවැසීමෙන් කෙලෙස් අඩුවෙයි. ඒ නිසා නොවසා විවෘත කරව. එසේ කල්හි කෙලෙස් වැඩි නොවේ.
448. “මේ සත්ව ලෝකය මරණයෙන් යටපත් කෙරේ. ජරාවෙන් පිරිවරණ ලද්දේවෙයි. තෘෂ්ණා නම් වූ හුලෙන් ඇතුළත විදින ලද්දේවෙයි. හැමකල්හි අරමුණ කැමැත්තේ දුම් දැමීමක් වෙයි.
449. “සත්වලෝකය මරුවා විසින් යටපත් කරනලදුව, ජරාවෙන් පිරිවරණ ලදුව, අසරණව අපරාධ කළ සොරෙක් රාජ දඬුවම් ලබා තැවෙන්නාක් මෙන් තැවීමට පත්වෙයි.
450. “වනයෙහි හටගත් ලැව්ගින්නක් මෙන් ජරා ව්‍යාධි මරණ යන තුන අභිභවනය කරන්ට නොහැකිය. ජය ලබා පලායාමටද නොහැකිය.
451. “විදර්ශනා භාවනාවෙන් තොරව දවස් නොහරිව්, ස්වල්පමාත්‍ර කාලයකුදු හිස් නොකොට බොහෝ වශයෙන්ම භාවනාදියෙහි යෙදුනේ රෑ දවල් හිස්නොකොට ගත කෙරේ නම් ඔහුගේ ජීවිතය හිස් නොවේ.
452. “යාම, හිඳීම, සිටීම, සයනය කිරීම යන සතර ඉරියව්වෙහිම කාලය හිස් නොකොට අප්‍රමාද විහරණයෙන් යුක්තව වසව.”
ආයුෂ්මත් සිරිමන්ද තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
සිරිමන්ද ථේර ගාථා.
6. 1. 14.
453. “දුගඳ හමන්නාවූ මේ දෙපා ඇති ශරීරය නොයෙක් කුණපයෙන් පිරුණේ නව දොරින් වැගිරෙන දුගඳ ඇත්තේ සුවඳවත් කිරීමට නොහැකිය.
454. “වැද්දා කොළඅතු ආදියෙන් මුවාව සිට මුවන් ගන්නාක් මෙන්ද, බිලියෙන් මසුන් ගන්නාක් මෙන්ද, ලාටුවෙන් වඳුරන් ගන්නාක් මෙන්ද, පෘථග්ජනයා පෙළයි.
455. “රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන රමණීය පංචකාම ගුණයෝ ස්ත්‍රී රූපයෙහි දක්නා ලැබේ.
456. “රාගයෙන් මත්වූ පෘථග්ජන සත්වයෝ මේ කාම වස්තු සේවනය කෙරෙද්ද, ඔව්හු ජාති ජරාදී දුක් සමූහයත් නිරායාදී අපාය භයත් සංසාර දුකත් නැවත නැවත ලබයි.
457. “යමෙක් මේ කාම වස්තූහු සර්ප ඔලුවක් දුටු කලෙක මෙන් දුරුකෙරේද, ඔහු විෂ සංඛ්‍යාතවූ ලෝකයෙහි සිහියෙන් යුක්තව කල් යවයි.
458. “කාමයෙහි දෝෂයත්, පැවිදිවීමෙහි ආනිසංසයත් දැක සියලුම කාමයන්ගෙන් වෙන්වූ මම කෙලෙස් නැති කිරීමෙන් රහත් බවට පැමිණියෙමි.”
ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
සබ්බකාමී ථේර ගාථා.
එහි උද්දානය:
උරුවෙලකස්සප, තෙකිච්ඡකාරී, මහානාග, කුල්ල, මාලුඞ්ක්යපුත්ත, සප්පදාස, කාතියාන, මිගජාල, ජෙන්ත, සුමන, න්හාතකමුනි, බ්‍රහ්මදත්ත, සිරිමන්ද සහ සබ්බකාමී යන තෙරවරුන්ය. මෙහි ගාථා අසූහතරක්ද, තෙරවරු දසහතර දෙනෙක්ද වෙති.
ඡක්කනිපාතො නිට්ඨිතො.