6. 1. 14.
453. “දුගඳ හමන්නාවූ මේ දෙපා ඇති ශරීරය නොයෙක් කුණපයෙන් පිරුණේ නව දොරින් වැගිරෙන දුගඳ ඇත්තේ සුවඳවත් කිරීමට නොහැකිය.
454. “වැද්දා කොළඅතු ආදියෙන් මුවාව සිට මුවන් ගන්නාක් මෙන්ද, බිලියෙන් මසුන් ගන්නාක් මෙන්ද, ලාටුවෙන් වඳුරන් ගන්නාක් මෙන්ද, පෘථග්ජනයා පෙළයි.
455. “රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන රමණීය පංචකාම ගුණයෝ ස්ත්‍රී රූපයෙහි දක්නා ලැබේ.
456. “රාගයෙන් මත්වූ පෘථග්ජන සත්වයෝ මේ කාම වස්තු සේවනය කෙරෙද්ද, ඔව්හු ජාති ජරාදී දුක් සමූහයත් නිරායාදී අපාය භයත් සංසාර දුකත් නැවත නැවත ලබයි.
457. “යමෙක් මේ කාම වස්තූහු සර්ප ඔලුවක් දුටු කලෙක මෙන් දුරුකෙරේද, ඔහු විෂ සංඛ්‍යාතවූ ලෝකයෙහි සිහියෙන් යුක්තව කල් යවයි.
458. “කාමයෙහි දෝෂයත්, පැවිදිවීමෙහි ආනිසංසයත් දැක සියලුම කාමයන්ගෙන් වෙන්වූ මම කෙලෙස් නැති කිරීමෙන් රහත් බවට පැමිණියෙමි.”
ආයුෂ්මත් සබ්බකාමී තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
සබ්බකාමී ථේර ගාථා.
එහි උද්දානය:
උරුවෙලකස්සප, තෙකිච්ඡකාරී, මහානාග, කුල්ල, මාලුඞ්ක්‍යපුත්ත, සප්පදාස, කාතියාන, මිගජාල, ජෙන්ත, සුමන, න්හාතකමුනි, බ්‍රහ්මදත්ත, සිරිමන්ද සහ සබ්බකාමී යන තෙරවරුන්ය. මෙහි ගාථා අසූහතරක්ද, තෙරවරු දසහතර දෙනෙක්ද වෙති.
ඡක්කනිපාතො නිට්ඨිතො.
7. සත්තක නිපාතය
7. 1. 1.
459. “මනාකොට වැසීමෙන් අලංකාර කරනලද සිනිඳු මල්දම්වලින්ද සරසන ලදුව ලාකඩ රසයෙන් ලක්ෂණ කළ පා දෙකින් යුක්තවූ ස්වර්ණමය පාවහන් ඇති වෙශ්‍යා තොමෝ
460. “පාවහන් ගලවා ඉදිරිපිට ඇඳිලි බැඳගෙණ (ඕ තොමෝ) මට මධුරවූ වචනයෙන් මෙසේ කීවාය.
461. “තෝ බාල වියෙහිදීම පැවිදිවූවෙහිය. මාගේ වචනය කරන්නෙහි නම් මානුෂික කාමයන් පරිභොග කරව. ඒ පිණිස මගේ සිත ඔබට දෙමි.
462. “ඔබ විසින් මෙය ඇත්තක්කොට පිළිගනුව. ඒ අදහන්නහු නම් ගිනි ඉදිරිපිට තබා දිවුරා කියනු. අප දෙදෙනාම සැරයටිය පිහිටකොට පවත්නා කල්හි පැවිදි වන්නමු නම් දෙපැත්තෙන්ම ජයගත්තේවේ.
463. “වෙශ්‍යාංගනාව විසින් ඇදිලි බැඳ කළ මේ ආයාචනය දැක, මාරයා විසින් ඔසවනලද පාසයක් (උගුලක්) බඳුවූ අලංකෘත වස්ත්‍රාභරණ සහිත වෙශ්‍යාව දැකීමෙන්,
464. “මට සිහිනුවණ උපණ. දෝෂයන් ප්‍රකටව පෙණින, කලකිරීමද ලබනලදී.
465. “එයින්ම සිත පස්වැදෑරුම් විමුක්තියෙන් මිදුණි. ධර්මයාගේ යහපත් බව ලබව. ත්‍රිවිද්‍යාව ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද කරන ලදී.”
මෙසේ ආයුෂ්මත් සුන්දරසමුද්ද තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
සුන්දර සමුද්ද ථේර ගාථා
7. 1. 2.
466. “ශ්‍රේෂ්ඨවූ අම්බට්ඨ කාරාමයෙහිවූ වන ලැහැබෙහි භද්දිය ස්ථවිරයන් වහන්සේ අවිද්‍යා සහිත තෘෂ්ණාව නසා එහිම සීලාදී ගුණයන්ගෙන් යහපත් බවට පැමිණි කෘත්‍යය ඇත්තේ මේ ආත්මයෙහිම ධ්‍යාන සමාපත්ති සැපයෙන් විසුවෙමි.
467. “මිහිඟුබෙර, වීණා, පනා බෙර යන නෘත්‍ය භාණ්ඩ විශේෂයන්ගෙන් ඇතැම් කාමභොගී සත්වයෝ සතුටුවෙති. මමද ගස්මුල්වල බුදුන්ගේ අනුශාසනාව කරමින් සතුටුවෙමි.
468. “බුදුරජාණන් වහන්සේ මට වර දෙන ලද්දේද, ඒ වරය මම ලබාගතිමි. සියලු ලෝකයාට කායගතාසති කර්මස්ථානය වඩන පිණිසයි.
469. “ලාමකවූ ජනයා විසින් මගේ නිහීණ රූපය පිළිකුල් කොටද, පහත්කොටද, සිතුවාහුය, සමහර සත්වයෝ ගරු කිරීම් වශයෙන් මට බුහුමන් කළාහුය. ඒ දෙකොටසම ඡන්ද රාගයෙන් යුක්තවූවාහුය. මම ඡන්දරාගය නැත්තෙකු බව ඔව්හු නොදනිති.