5. 1. 9.
355. “චිත්තය තොපගේ මාර්ගය කුඩා දොරටුවකින් ඇතෙකු මෙන් වලක්වන්නෙමි. මාර දැලක්වූ සිත, තෝ පාපයෙහි නොයොදවන්නෙමි.
356. “දොරටුවක් නොලැබෙන ඇතෙකු මෙන් තෝ වැලැක්කේ නොයන්නෙහිය. සිත නැමැති කාලකණ්නිය, නැවත නැවත වලක්වන්නේ පාපයෙහි ඇලුනෙක් නොවන්නෙහිය.
357. “ඇත්ගොව්වා අලුත අල්වා ගත් නොහික්මුණු ඇතෙකු යම්සේ නොකැමැති පරිද්දෙන් නවත්වයිද, මෙසේ තොප නවත් වන්නෙමි.
358. “ශ්‍රේෂ්ඨ අසුන් දමනය කිරීමෙහි දක්ෂවූ උතුම් අස්ගොව්වෙක් ආජානීය අශ්වරාජයෙකු දමනය කරයිද, ශ්‍රද්ධාදී පඤ්චබලයෙහි පිහිටා තොප මෙසේ දමනය කරන්නෙමි.
359. “තොප සිහියෙන් බඳින්නෙමි. පිරිසිදුවූයේ චොදනා කරන්නෙමි. වීර්යය නමැති වියගහෙන් කම්පා කෙළේ සිතමින් ඈතට නොයන්නේය.”
ආයුෂ්මත් විජිතසෙන තෙරණුවෝ මේ ගාථා මෙසේ කීහ.
9. විජිතසෙන ථේර ගාථා
5. 1. 10.
360. “දෝෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද අහසට පොළොව මෙන් සද්ධර්මයෙන් ඈත්වූයේවේ.
361. “දෝෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද කළුවර පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් සද්ධර්මයෙන් පිරිහෙයි.
362. “දෝෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද දිය නැති විල්හි මසෙකු මෙන් සද්ධර්මයෙන් පිරිහේ.”
363. “දෝෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද කුඹුරෙහි කුණුවූ බීජ මෙන් සද්ධර්මයෙහි නොවැඬේ.
364. “යමෙක් සතුටු සිතින් බුද්ධාවවාදය අසයිද, සියලු පව් නසා රහත් බව ප්‍රත්‍යක්ෂකොට පරම ශාන්තියට පැමිණ කෙලෙස් රහිතව පිරිනිවන්පායි.”
ආයුෂ්මත් යස දන්ත තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
10. යසදන්ත ථේර ගාථා
5. 1. 11.
365. “මා විසින් උපසම්පදාව ලද්දේය. කෙලෙස් මිදීමෙන් මිදුනෙමි. කාමාශාදියෙන් තොරවූවෙමි. ඒ මා විසින් නුදුටු බුදුහු දක්නා ලදී විහාරයෙහි එකට විසීමි.
366. “භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙන් වැඩිහරියක් එලිමහනෙහි විසූසේක. විසීම්වල දක්ෂ බුදුහු ඊට පසු ගඳකිළියට ඇතුල්වූහ.
367. “නැති කළ බිය හා භයානක අරමුණු ඇති බුදුහු සඟල සිවුර අතුරා ගල්ගුහාවක සිංහයකු මෙන් සයනය කළ සේක.
368. “යහපත් වචන ඇති බුද්ධ ශ්‍රාවකවූ සොණතෙමේ බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සද්ධර්මය කීයේය.
369. “ස්කන්ධ පඤ්චකය දැන මාර්ග වඩා පරම ශාන්තියට පැමිණ කෙළෙස් රහිතව පිරිනිවන් පාත්.”
ආයුෂ්මත් සොණ කුටි කණ්ණ තෙරණුවෝ මේ ගාථා මෙසේ කීහ.
11. සොණකුටිකණ්ණ ථේර ගාථා
5. 1. 12.
370. “යම් ඤාණවන්තයෙක් ඒකාන්තයෙන් ගුරුන්ගේ වචන දන්නේද උන්වහන්සේලාගේ වසඟයෙහි සිටීද ගෞරව උපදවාද ඒ පණ්ඩිත තෙමේ භක්ති ඇත්තේවේ. ධර්මයන් දැන විශේෂ ගුණ උපදවන්නේය.
371. “මහත්වූ යම් විපත්තීහු පහළවූවාහුද, කම්පා නොවී ඉවසන්නේද, ඒ පණ්ඩිත තෙමේ ශක්තිමත් නම් වේ. ධර්මය දැන විශේෂයට පැමිණෙන්නේය.
372. “ගැඹුරු මුහුද යම්සේ කම්පා නොවේද, ගැඹුරු ප්‍රඥා ඇති අර්ථයෙහි දක්ෂ පණ්ඩිතයා නොබෙදිය හැකිවේ. දැන ධර්මයන්හි විශේෂ ගුණ උපදවන්නේයි.