5. 1. 2.
320. “තම යහපතද අනුන්ගේ යහපතද බලාපොරොත්තුවන පුරුෂතෙම තමා නොයෙදිය යුතු දෙයෙහි යෙදෙන්නේද හිත සැපයට නොපැමිණෙන්නේය. එය මගේ අවාසනාවකැයි සිතයි.
321. “රාග නමැති දුකට පැමිණි සංසාර නමැති රට වනසා නොදමා භාවනා නමැති දෙවැන්නා නැතිව තනිවම අත්හරින්නේද, එය පාපයක් වන්නේය. නිවන් මෝරවන ගුණධර්ම සියල්ල අත්හරින්නේය. සම විෂම නොදක්නා බැවින් අන්ධයෙක්ම වන්නේය.
322. “යමක් කරන්නේද එය කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. පණ්ඩිතයෝ කියන්නාවූ දෙය නොකරන්නාහු විශේෂයෙන් දැනගනිත්.
323. සිත්කලුවූ, මනාවූ පැහැ ඇති, සුවඳ රහිතවූ, මල් යම්සේ (සුවඳ නොපතුරුවා) ද එපරිද්දෙන්ම මනාකොට දෙසනලද ත්‍රිපිටක බුද්ධ වචනය (ඒ ධර්මය) නොකරන්නාහට සඵල නොවෙයි.
324. සිත්කලුවූ, මනා පැහැ ඇති, සුවඳ සහිතවූ, මල් යම්සේ (සුවඳපතුරුවා) ද එපරිද්දෙන්ම මනාකොට දෙසන ලද ත්‍රිපිටක බුද්ධ වචනය (ඒ ධර්මය) කරන්නාහට සඵල වෙයි.
ආයුෂ්මත් සුභූති තෙර මෙසේ මේ ගාථා කීයේය.
2. සුභූති ථේර ගාථා
5. 1. 3.
325. “මේඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි සංසිඳී වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
326. “මේඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි සන්සුන් සිත් ඇත්තේ වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
327. “මේඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි පහවූ රාග ඇතිව වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
328. “මේඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි පහවූ ද්වේෂ ඇතිව වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
329. “මේඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි පහවූ මෝහ ඇතිව වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
ආයුෂ්මත් ගිරිමානන්ද තෙර මේ ගාථා මෙසේ කීයේය.
3. ගිරිමානන්ද ථේර ගාථා
5. 1. 4.
330. “නිවැරදි ධර්මයන්ගෙන් යම් ධර්මයක් මට ලැබේවායි බලාපොරොත්තුවන උපාධ්‍යායතෙමේ අමෘත මහා නිර්වාණය බලාපොරොත්තුවෙන් මට අනුකම්පා කළේය. මා විසින් කළ යුතු වැඩ අවසන් කරණලදී.
331. “උපද්‍රව නැති ධර්මයට පැමිණියෙමි. තෙමේම ප්‍රත්‍යක්ෂ කරණලදී. ඔබගේ සමීපයෙහි පිරිසිදු නුවණ ඇත්තේ සැක නැත්තේ ප්‍රකාශ කරමි.
332. “පෙර විසූ පරිදි දනිමි. දිවඇස පිරිසිදු කරණලදී. මා විසින් තමාගේ යහපතට පැමිණෙනලදී. බුදුන්ගේ අනුශාසනය කරණලදී.
333. “අප්‍රමාදවූ මට ඔබවහන්සේගේ සස්නෙහි හික්මීම අස්වනලදී. මා විසින් සියලු ආශ්‍රවයෝ ක්ෂය කරණ ලද්දාහ. දැන් නැවත ඉපදීමක් නැත.
334. “පිරිසිදු ශීලාදී වත් සමාදානයෙන් මට අනුශාසනා කරණලදී. අනුකම්පා කරණලදී. අනුග්‍රහකරණලදී. අතවැස්සා කෙරෙහි හික්මවනලද අවවාදය හිස්නොවීය.”
ආයුෂ්මත් සුමනතෙර මේ ගාථා මෙසේ කීයේය.
4. සුමන ථේර ගාථා