4. 1. 5.
283. “පස් පනස් වසක් ධූලි හා අශුචි දැරුවෙමි. මසකට වරක් ආහාර දිවගා බලමින් අළු ඉසීමෙන් බුරුල්වූ කෙස් අතින් උගුල්ලන්නේ විය.
284. “එක් පයකින් සිටියෙමි. ආසන දුරු කෙළෙමි. වේලුණු අශූචි කෑවෙමි. ආරාධනා නොඉවසීමි.
285. “මෙබඳු බොහෝ අපායට යන දේ කොට අපායට යන්නේ බුදුන් සරණ ගියෙමි.
286. සරණයාම බලව. ධර්මයෙහි යහපත් බව බලව, ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි. බුදුන්ගේ ශාසනය කරණලදී.”
ආයුෂ්මත් ජම්බුක තෙර මෙසේ මේ ගාථා කීයේය.
ජම්බුක ථේර ගාථා
4. 1. 6.
287. “ගයාවෙහි මැදින් මස පොහොය දිනයෙහි එකාන්තයෙන් මට යහපත් පැමිණීමක් වේවා. උතුම්වූ ධර්මය දේශනා කරණ බුදුන් දුටුවෙම්ද එහෙයිනි.
288. “මහත් ආලෝක ඇති පිරිසට නායකවූ ශ්‍රේෂ්ඨත්වයට පැමිණි තමහට වඩා ශ්‍රේෂ්ඨයක නැති බුදුන් දෙවියන් සහිත ලෝකයාට ශ්‍රේෂ්ඨ දැකීමකි.
289. “මහත් ඇතෙකු වැනිවූ මහාවීරයෙකුවූ මහා ආලෝකයක් ඇති, කෙලෙස් නැති, සියලු කෙලෙස් නැති කළාවූ කිසිතැනක බියක් නැත්තාවූ ශාස්තෘන් වහන්සේ යම් හෙයකින් දැක්කේද එය මගේ යහපත් දැකීමකි.
290. “ඒකාන්තයෙන්ම වැරදි විශ්වාස නමැති බැම්මෙන් බඳිනු ලදුව මා බොහෝ කාලයක් කිලිටිවූයේද, ඒ භාග්‍යවතුන් වහන්සේ සියළු ගැටවලින් සෝනක තෙරුන් මිදෙව්වේය.”
ආයුෂ්මත් සෝනක තෙර මෙසේ මේ ගාථා කීයේය.
සොනක ථේර ගාථා
4. 1. 7.
291. “යමෙක් තෙමේ සැක සහිත කාලයෙහි වෑයම් කරයිද එතර වියයුතු කාලය හිස් කරයිද, නුවණ නැති බව හේතුකොට බාලයා දුකට පැමිණෙයි.
292. “එබඳු පුද්ගලයාගේ මේ ආත්මයෙහිවූ අභිවෘද්ධිය කළුවර පක්ෂයෙහි හඳ මෙන් පිරිහෙත්. අයසටද පැමිණෙයි. මිත්‍රයන් සමගද විරුද්ධ වේ.
293. “යමෙක් සැක කළයුතු කාලයෙහි සැක කරයිද එතර විය යුතු කාලයෙහි එතරවේද නුවණින් යුක්තවීමෙන් පණ්ඩිතතෙමේ සැපයට පැමිණෙයි.
294. “ඔහුගේ අභිවෘද්ධිය සඳ මෙන් පිරෙයි. යසසටද කීර්තියටද පැමිණෙයි. මිත්‍රයන් හා විරුද්ධ නොවේ.
ආයුෂ්මත් සම්භූත ස්ථවිරතෙමේ මෙසේ මේ ගාථා කීයේය.
සම්භූත ථේර ගාථා
4. 1. 8.
295. “දෙපැත්තෙන් යහපත්වූ සොඳුරු රාහුලයයි මට කීහ. යම් මම බුදුන්ගේ පුත්‍රද, යම් මම ධර්මයන්හි ඇස් ඇත්තෙමි.
296. “මා විසින් යම් පව් දුරු කළාහුද, යම් නැවත ඉපදීමක් මට නැද්ද දක්ෂිණාවට සුදුසු රහත් කෙනෙක්මි. නිවන පෙනෙන ත්‍රිවිද්‍යා ඇත්තෙකි.
297. “කෙමින් කටෙහි අසුවූ මසුන් මෙන් කාමයන්හි අන්ධය. දැලින් වැසෙන ලදී. ආශා නැමැති පියස්සෙන් වසනලදී. ප්‍රමාදවවන්ගේ නෑවූ මාරයා විසින් බඳින ලදී.
298. “ඒ කාමය මම උදුරා මාරයාගේ බැමි සිඳ මුල් සහිත තෘෂ්ණාව උදුරා සිහිල් වූයෙමි. නිවුණෙමි.”
ආයුෂ්මත් රාහුල තෙර මෙසේ මේ ගාථා කීයේය.
රාහුල ථේර ගාථා
4. 1. 9.
299. “රනින් වැසුණු ආභරණ පැළඳි දාසී සමූහයා විසින් පෙරටු කරණ ලද්දේ, පුත්‍රයා ඇකයෙන් ගෙන භාර්යාව මාවෙත පැමිණියාය,
300. “අලංකාරවූ යහපත්ව ඇන්දාවූ දැමූ මරු පාසයක් වැනි තම පුත්‍රයාගේ මව දැක
301. “ඉක්බිති මට නුවණින් යුතු සිතක් උපන්නේය. දෝෂය පෙනුණේය. කලකිරීම එළඹ සිටියේය.
302. “ඉක්බිති සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවට පැමිණියෙමි. බුදුන්ගේ අවවාදය කරණලදී.
ආයුෂ්මත් චන්දන තෙර මෙසේ මේ ගාථා කීයේය.
චන්දන ථේර ගාථා