4. 1. 6.
287. “ගයාවෙහි මැදින් මස පොහොය දිනයෙහි එකාන්තයෙන් මට යහපත් පැමිණීමක් වේවා. උතුම්වූ ධර්මය දේශනා කරණ බුදුන් දුටුවෙම්ද එහෙයිනි.
288. “මහත් ආලෝක ඇති පිරිසට නායකවූ ශ්‍රේෂ්ඨත්වයට පැමිණි තමහට වඩා ශ්‍රේෂ්ඨයක නැති බුදුන් දෙවියන් සහිත ලෝකයාට ශ්‍රේෂ්ඨ දැකීමකි.
289. “මහත් ඇතෙකු වැනිවූ මහාවීරයෙකුවූ මහා ආලෝකයක් ඇති, කෙලෙස් නැති, සියලු කෙලෙස් නැති කළාවූ කිසිතැනක බියක් නැත්තාවූ ශාස්තෘන් වහන්සේ යම් හෙයකින් දැක්කේද එය මගේ යහපත් දැකීමකි.
290. “ඒකාන්තයෙන්ම වැරදි විශ්වාස නමැති බැම්මෙන් බඳිනු ලදුව මා බොහෝ කාලයක් කිලිටිවූයේද, ඒ භාග්‍යවතුන් වහන්සේ සියළු ගැටවලින් සෝනක තෙරුන් මිදෙව්වේය.”
ආයුෂ්මත් සෝනක තෙර මෙසේ මේ ගාථා කීයේය.
සොනක ථේර ගාථා
4. 1. 7.
291. “යමෙක් තෙමේ සැක සහිත කාලයෙහි වෑයම් කරයිද එතර වියයුතු කාලය හිස් කරයිද, නුවණ නැති බව හේතුකොට බාලයා දුකට පැමිණෙයි.
292. “එබඳු පුද්ගලයාගේ මේ ආත්මයෙහිවූ අභිවෘද්ධිය කළුවර පක්ෂයෙහි හඳ මෙන් පිරිහෙත්. අයසටද පැමිණෙයි. මිත්‍රයන් සමගද විරුද්ධ වේ.
293. “යමෙක් සැක කළයුතු කාලයෙහි සැක කරයිද එතර විය යුතු කාලයෙහි එතරවේද නුවණින් යුක්තවීමෙන් පණ්ඩිතතෙමේ සැපයට පැමිණෙයි.
294. “ඔහුගේ අභිවෘද්ධිය සඳ මෙන් පිරෙයි. යසසටද කීර්තියටද පැමිණෙයි. මිත්‍රයන් හා විරුද්ධ නොවේ.
ආයුෂ්මත් සම්භූත ස්ථවිරතෙමේ මෙසේ මේ ගාථා කීයේය.
සම්භූත ථේර ගාථා
4. 1. 8.
295. “(ජාති සම්පත්තිය, ප්‍රතිපත්ති සම්පත්තිය යන) දෙකින්ම යුක්ත වූ මා ‘රාහුලභද්‍ර’ යයි (සබ්‍රහ්මචාරීහු) දනිති. යම් හෙයකින් මම බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා වෙමිද, යම් හෙයකින් ධර්මයන්හි (සිව්සස් දහමෙහි මාර්ග ප්‍රඥා නමැති) ඇස ඇත්තෙක් වෙමිද,
296. “මා විසින් යම් පව් දුරු කළාහුද, යම් නැවත ඉපදීමක් මට නැද්ද දක්ෂිණාවට සුදුසු රහත් කෙනෙක්මි. නිවන පෙනෙන ත්‍රිවිද්‍යා ඇත්තෙකි.
297. “කෙමින් කටෙහි අසුවූ මසුන් මෙන් කාමයන්හි අන්ධය. දැලින් වැසෙන ලදී. ආශා නැමැති පියස්සෙන් වසනලදී. ප්‍රමාදවවන්ගේ නෑවූ මාරයා විසින් බඳින ලදී.
298. “ඒ කාමය මම උදුරා මාරයාගේ බැමි සිඳ මුල් සහිත තෘෂ්ණාව උදුරා සිහිල් වූයෙමි. නිවුණෙමි.”
ආයුෂ්මත් රාහුල තෙර මෙසේ මේ ගාථා කීයේය.
රාහුල ථේර ගාථා
4. 1. 9.
299. “රනින් වැසුණු ආභරණ පැළඳි දාසී සමූහයා විසින් පෙරටු කරණ ලද්දේ, පුත්‍රයා ඇකයෙන් ගෙන භාර්යාව මාවෙත පැමිණියාය,
300. “අලංකාරවූ යහපත්ව ඇන්දාවූ දැමූ මරු පාසයක් වැනි තම පුත්‍රයාගේ මව දැක
301. “ඉක්බිති මට නුවණින් යුතු සිතක් උපන්නේය. දෝෂය පෙනුණේය. කලකිරීම එළඹ සිටියේය.
302. “ඉක්බිති සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවට පැමිණියෙමි. බුදුන්ගේ අවවාදය කරණලදී.
ආයුෂ්මත් චන්දන තෙර මෙසේ මේ ගාථා කීයේය.
චන්දන ථේර ගාථා