4. 1. 11.
307. පිරිසිදු සුදුපාට පියාපත් ඇති පක්ෂීහු යම් කලෙක්හි කළු පැහැ ඇති වලාකුලට බියෙන් තැතිගත්තාහු තමාගේ කූඩුව සොයා යති. එකල්හි අජකරණි නදිය මගේ සිත සතුටු කරයි.
308. “පිරිසිදු සුදුපාට පියාපත් ඇති පක්ෂීහු යම් කලෙක්හි කළු පැහැති වලාකුලට බියෙන් තැතිගත්තාහු සැඟවීමට තැනක් නැතිව ලෙනක් සොයත්ද, එකල්හි අජකරණි නම් නදිය මගේ සිත සතුටුකරයි.
309. එහි දෙපසෙහි දඹ ගස් කවරෙකුගේ සිත් නො අලවත්ද, මගේ ලෙන පිටිපස ගං ඉවුර අලංකාර කරත්.
310. “ඒ මැඩියෝ සර්ප සමූහයාගෙන් දුරුවූ ඒ ස්ථානයෙහි මිහිරි හඬින් නාදකරත්. අද පර්වතය නදීන්ගෙන් ඈත් විය යුතු දිනයක් නොවේ. බිය නැති අජකරණි නදිය ඉතා යහපත්ය.”
ආයුෂ්මත් සප්පක තෙර මෙසේ මේ ගාථා කීයේය.
සප්පක ථේර ගාථා
4. 1. 12.
311. “මම ජීවිකාව පිණිස පැවිදිවීමි. උපසම්පදාව ලබා ඊටත් වඩා ශ්‍රද්ධාව ලැබුවෙමි. තද වීර්ය ඇතිව භාවනා කෙළෙමි.
312. “ඒකාන්තයෙන් මේ ශරීරය බිඳේවා, මේ වීර්යයෙන් ශරීරයෙහි මස්පිඬු විසිරේවා, දනසන්ධි දෙකින් කෙණ්ඩා කැඩී වැටෙත්වා.
313. “මගේ හෘදයෙහි තණ්හා හුල නැති නොවනතුරු නොකන්නෙමි නොබොන්නෙමි. පන්සලෙන් පිට නොවන්නෙමි. පැත්තකින් නොනිදන්නෙමි.
314. “මෙසේ වාසය කරන්නාවූ මගේ තද උත්සාහය බලන්න. ත්‍රිවිද්‍යාවන් ලද්දෙමි. බුදුන්ගේ අවවාදය කරණ ලදී.”
ආයුෂ්මත් මුදිත තෙර මෙසේ මේ ගාථා කීයේය.
මුදිත ථේර ගාථා
එහි උද්දානය:
නාගසමාල ද, භගු ද, සභිය ද, නන්දක ද, ජම්බුක ද, සෙනක තෙර ද, සම්භූත ද, රාහුල ද, චන්දන තෙර ද වේ. මේ බුද්ධ ශ්‍රාවකයෝ දස දෙනෙකි. ධම්මික ද, සප්පක තෙර ද, මුදිත ද යන මොහු තිදෙනා ද වෙති. ගාථා පනස් දෙකකි. සියලු තෙරවරු දහතුනකි.
චතුක්කනිපාතො නිට්ඨිතො.