4. 1. 12.
311. “මම ජීවිකාව පිණිස පැවිදිවීමි. උපසම්පදාව ලබා ඊටත් වඩා ශ්‍රද්ධාව ලැබුවෙමි. තද වීර්ය ඇතිව භාවනා කෙළෙමි.
312. “ඒකාන්තයෙන් මේ ශරීරය බිඳේවා, මේ වීර්යයෙන් ශරීරයෙහි මස්පිඬු විසිරේවා, දනසන්ධි දෙකින් කෙණ්ඩා කැඩී වැටෙත්වා.
313. “මගේ හෘදයෙහි තණ්හා හුල නැති නොවනතුරු නොකන්නෙමි නොබොන්නෙමි. පන්සලෙන් පිට නොවන්නෙමි. පැත්තකින් නොනිදන්නෙමි.
314. “මෙසේ වාසය කරන්නාවූ මගේ තද උත්සාහය බලන්න. ත්‍රිවිද්‍යාවන් ලද්දෙමි. බුදුන්ගේ අවවාදය කරණ ලදී.”
ආයුෂ්මත් මුදිත තෙර මෙසේ මේ ගාථා කීයේය.
මුදිත ථේර ගාථා
එහි උද්දානය:
නාගසමාල ද, භගු ද, සභිය ද, නන්දක ද, ජම්බුක ද, සෙනක තෙර ද, සම්භූත ද, රාහුල ද, චන්දන තෙර ද වේ. මේ බුද්ධ ශ්‍රාවකයෝ දස දෙනෙකි. ධම්මික ද, සප්පක තෙර ද, මුදිත ද යන මොහු තිදෙනා ද වෙති. ගාථා පනස් දෙකකි. සියලු තෙරවරු දහතුනකි.
චතුක්කනිපාතො නිට්ඨිතො.
5. පඤ්චක නිපාතය
5. 1. 1.
315. “මහණතෙම සොහොනට ගොස් සොහොනෙහි හැරදමනලද පණුවන් වටවී කන ස්ත්‍රියකු දුටුයේය.
316. “යම්හෙයකින් නින්දිතවූ මළහු දැක ඇතැම් කෙනෙක් පිළිකුල් කරත්ද, මට කාම ආශාව පහළවිය. අශුචි වැගිරෙන ශරීරයෙහි අන්ධයෙකු මෙන් වීමි.
317. “බතක් පැසෙන කාලයටත් අඩු කාලයක් ඒ ස්ථානයෙන් බැහැරවූයෙමි. මම සිහි ඇතිව යහපත් නුවණින් යුක්තව එක්පැත්තකට ගියෙමි.
318. “ඉක්බිති මට නුවණින් යුතු සිතක් උපන්නේය. දෝෂය පෙනුණේය. කලකිරීම එළඹ සිටියේය.
319. “ඉක්බිති සිත කෙලෙසුන්ගෙන් මිදුනේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවට පැමිණියෙමි. බුදුන්ගේ අවවාදය කරණලදී.
ආයුෂ්මත් රාජදත්ත තෙර මෙසේ මේ ගාථා කීයේය.
1. රාජදත්ත ථේර ගාථා
5. 1. 2.
320. “තම යහපතද අනුන්ගේ යහපතද බලාපොරොත්තුවන පුරුෂතෙම තමා නොයෙදිය යුතු දෙයෙහි යෙදෙන්නේද හිත සැපයට නොපැමිණෙන්නේය. එය මගේ අවාසනාවකැයි සිතයි.
321. “රාග නමැති දුකට පැමිණි සංසාර නමැති රට වනසා නොදමා භාවනා නමැති දෙවැන්නා නැතිව තනිවම අත්හරින්නේද, එය පාපයක් වන්නේය. නිවන් මෝරවන ගුණධර්ම සියල්ල අත්හරින්නේය. සම විෂම නොදක්නා බැවින් අන්ධයෙක්ම වන්නේය.
322. “යමක් කරන්නේද එය කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. පණ්ඩිතයෝ කියන්නාවූ දෙය නොකරන්නාහු විශේෂයෙන් දැනගනිත්.
323. සිත්කලුවූ, මනාවූ පැහැ ඇති, සුවඳ රහිතවූ, මල් යම්සේ (සුවඳ නොපතුරුවා) ද එපරිද්දෙන්ම මනාකොට දෙසනලද ත්‍රිපිටක බුද්ධ වචනය (ඒ ධර්මය) නොකරන්නාහට සඵල නොවෙයි.
324. සිත්කලුවූ, මනා පැහැ ඇති, සුවඳ සහිතවූ, මල් යම්සේ (සුවඳපතුරුවා) ද එපරිද්දෙන්ම මනාකොට දෙසන ලද ත්‍රිපිටක බුද්ධ වචනය (ඒ ධර්මය) කරන්නාහට සඵල වෙයි.
ආයුෂ්මත් සුභූති තෙර මෙසේ මේ ගාථා කීයේය.
2. සුභූති ථේර ගාථා