3. 1. 15.
261. “ජරාවට පත්වීමට පෙර යමක් කළයුතුද එය ඔහු පසුව කරන්නට කැමතිවේද, හෙතෙම සැපයෙන් පහවේ. පසුවද තැවෙයි.
262. “යමක් කරන්නේද එය කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. පණ්ඩිතයෝ කියන්නාවූ දෙය නොකරන්නාහු විශේෂයෙන් දැනගනිත්.
263. “යම්තැනක දුක නැතිවේද, බුදුන් විසින් වදාරණ ලද ශොක නැති, කෙලෙස් නැති, නිර්භය නිවන අතිශයින් සැපය.”
ආයුෂ්මත් හාරිත තෙර මෙසේ මේ ගාථා කීයේය.
15. හාරිත ථේර ගාථා
3. 1. 16.
264. “පාපමිත්‍රයන් දුරුකොට උතුම් පුද්ගලයන් ආශ්‍රය කරන්නේය. නොසෙල් වෙන සැපය පතමින් ඒ උතුම් පුද්ගලයාගේ අවවාදයෙහි සිටින්නේය.
265. “කුඩා දරකඩකට නැගී මහමුහුදෙහි යම්සේ ගිලේද එසේ කම්මැලියා වෙත පැමිණ යහපත්ව ජීවත්වන්නේද ගිලේ, එහෙයින් කම්මැලිවූ වීර්යය නැති ඔහු දුරුකරන්නේය.
266. “කාය විවේකයෙන් යුක්තවූ හා කෙලෙසුන්ගෙන් වෙන්වූ නිවන්වෙත යොමුකළ ජීවිත ඇති ධ්‍යානකරණ නිතර පටන්ගන්නා ලද වීර්යය ඇති පණ්ඩිතයන් හා වාසය කරන්නේය.”
ආයුෂ්මත් විමලතෙර මෙසේ මේ ගාථා කීයේය.
16. විමල ථේර ගාථා
උද්දානය:
අංගාණික භාරද්වාජ ද, පච්චය ද, බක්කුල ඍෂි ද, ධනිය ද, මාතංගපුත්ත ද, ඛුජ්ජසෝභිත ද, වාරණ ඍෂි ද, පස්සික ද, යසෝජ ද, සාටිමත්තිය ද, උපාලි ද, උත්තරපාල ද, අභිභූත ද, ගෝතම ද, හාරිත ද, විමල තෙරුන් ද යන මේ තික නිපාතයෙහි ගාථා හතළිස් අටකි. තෙරවරු සොළොස් දෙනෙක් කීර්තිමත් කරණ ලදහ.
තිකනිපාතො නිට්ඨිතො.