3. 1. 16.
264. “පාපමිත්‍රයන් දුරුකොට උතුම් පුද්ගලයන් ආශ්‍රය කරන්නේය. නොසෙල් වෙන සැපය පතමින් ඒ උතුම් පුද්ගලයාගේ අවවාදයෙහි සිටින්නේය.
265. “කුඩා දරකඩකට නැගී මහමුහුදෙහි යම්සේ ගිලේද එසේ කම්මැලියා වෙත පැමිණ යහපත්ව ජීවත්වන්නේද ගිලේ, එහෙයින් කම්මැලිවූ වීර්යය නැති ඔහු දුරුකරන්නේය.
266. “කාය විවේකයෙන් යුක්තවූ හා කෙලෙසුන්ගෙන් වෙන්වූ නිවන්වෙත යොමුකළ ජීවිත ඇති ධ්‍යානකරණ නිතර පටන්ගන්නා ලද වීර්යය ඇති පණ්ඩිතයන් හා වාසය කරන්නේය.”
ආයුෂ්මත් විමලතෙර මෙසේ මේ ගාථා කීයේය.
16. විමල ථේර ගාථා
උද්දානය:
අංගාණික භාරද්වාජ ද, පච්චය ද, බක්කුල ඍෂි ද, ධනිය ද, මාතංගපුත්ත ද, ඛුජ්ජසෝභිත ද, වාරණ ඍෂි ද, පස්සික ද, යසෝජ ද, සාටිමත්තිය ද, උපාලි ද, උත්තරපාල ද, අභිභූත ද, ගෝතම ද, හාරිත ද, විමල තෙරුන් ද යන මේ තික නිපාතයෙහි ගාථා හතළිස් අටකි. තෙරවරු සොළොස් දෙනෙක් කීර්තිමත් කරණ ලදහ.
තිකනිපාතො නිට්ඨිතො.
4. චතුක්ක නිපාතය
4. 1. 1.
267. “අලංකාරවූ යහපත්ව ඇන්දාවූ මල් දරණ සඳුන් ගෑ ශරීර ඇති නැටුම් දත් ස්ත්‍රියක් තූර්ය ගසන කල මහමග මැද නටයි.
268. “මම පිඬු පිණිස හැසිරෙන්නේ අලංකාරවූ යහපත්ව ඇන්දාවූ දමන ලද මරු තොණ්ඩුවක් වැනි ඈ දුටුවෙමි.
269. “ඉක්බිති මාගේ මනසට සිතිවිල්ලක් පහළ විය. දොස් දැක්ම පහළ විය. කළකිරීම පැමිණ සිටියේය.
270. “ඉක්බිති මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදුණේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවන්ට පැමුණුනෙමි. බුදුන්ගේ අනුශාසනය කරණ ලදී.”
ආයුෂ්මත් නාගසමාල තෙර මෙසේ මේ ගාථා කීයේය.
නාගසමාල ථේර ගාථා
4. 1. 2.
271. “මම නිදිබර ස්වභාව ඇත්තේ විහාරයෙන් නික්මුනෙමි. සක්මනට බසින්නේ එහිම බිම වැටුනෙමි.
272. “අත් පා අතගා නැවත සක්මනට බැස්සෙමි. ඒ මම ඇතුළත සන්සුන්ව සක්මනෙහි සක්මන් කෙළෙමි.
273. “ඉක්බිති මාගේ මනසට සිතිවිල්ලක් පහළ විය. දොස් දැක්ම පහළ විය. කළකිරීම පැමිණ සිටියේය.
274. “ඉක්බිති මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදුණේය. ධර්මයෙහි යහපත් බව බලව. ත්‍රිවිද්‍යාවන්ට පැමුණුනෙමි. බුදුන්ගේ අනුශාසනය කරණ ලදී.”
ආයුෂ්මත් භගු තෙර මෙසේ මේ ගාථා කීයේය.
භගු ථේර ගාථා
4. 1. 3.
275. “අන්‍යයෝ අපි මෙහි මාරයා සමීපයට යමුයයි නොදනිත්. යම් කෙනෙක් එහි යන බව දනිත් නම් ඉන් කෝලාහල සන්සිඳෙත්.
276. “නොදන්නාහු යම් කලෙක්හි නොමැරෙන්නවුන් මෙන් ඉරියව් පවත්වත්ද යම් කෙනෙක් ධර්මය දනිත්ද ඔව්හු ලෙඩුන් අතරෙහි ලෙඩ නැතිව වසත්.
277. “ලිහිල් කළ යම් කර්මයක් වේද කිලිටිවූ යම් ව්‍රතයක් ඇත්තේද සැකයෙන් සිහි කටයුතු හැසිරීමක් වේද එය මහත් ඵල නොවේ.
278. “යමෙකුට සමාන සිල් ඇත්තන් කෙරෙහි ගෞරවයක් නොලැබේද, අහසට පොළොව මෙන් ධර්මයෙන් ඈත්වේ.”
ආයුෂ්මත් සභිය තෙර මෙසේ මේ ගාථා කීයේය.
සභිය ථේර ගාථා