2. 5. 7.
213. “දුක් නැමැති උලෙහි සිටි සතුටුවෙමින් ආවාවූ මේ සිත තණ්හා නැමැති හුල යම් තැනකද ඒ පව් සිතින්ම ආවේය.
214. “මම ඒ සිතේ කාලකණ්ණිකමයයි කියමි. එය සිතේ ද්‍රෝහිකමයයි කියමි. තොප විසින් ශාස්තෲන් වහන්සේ දුකසේ ලබනලදී. මේ ශරීරය අනර්ථයෙහි නොයොදව.”
ආයුෂ්මත් අනූපමතෙර මේ ගාථා මෙසේ කීවේය.
අනූපම ථේර ගාථා
2. 5. 8.
215. “දීර්ඝකාලයක් සැරි සරනා අන්ධයන් වැනි පෘථග්ජනයා ආර්ය සත්‍යයන් නොදක්නේ සුගති දුර්ගතීන්හි හැසිරෙන්නේය.
216. “අප්‍රමාදවූ ඒ මගේ සංසාරය මුල්සුන් කරණලදී. සියලු ඉපදීම් සිඳිනලදී. නැවත ඉපදීමක් නැත.”
ආයුෂ්මත් වජ්ජිත තෙර මේ ගාථා මෙසේ කීයේය.
වජ්ජිත ථේර ගාථා
2. 5. 9.
217. “හොඳට වැඩුණු නිල් පැහැයෙන් බබලන ඇසතු රුක්මුල සිහි ඇත්තේ බුදුන් අරමුණුකොට එකම සිහිය ලැබූවෙමි.
218. “මින් තිස්එක්වන කල්පයෙහි යම් හැඟීමක් ලබන ලද්දේද, ඒ සංඥාවගේ වාසනාවෙන් ආශ්‍රවක්ෂයට පැමිණියෙමි.”
ආයුෂ්මත් සන්ධිත තෙර මෙසේ මේ ගාථා කීයේය.
සන්ධිත ථේර ගාථා
වග්ගො පඤ්චමො නිට්ඨිතො.
එහි උද්දානය:
කුමාරකස්සප තෙර ද, ධම්මපාල ද, බ්‍රහ්මාලි ද, මොඝරාජ ද, විශාඛ ද, චූලක ද, අනුපම ද, වජ්ජිත ද, කෙලෙස් රජස් වහනය කළ සන්ධිත තෙර දැයි (මේ තෙරවරු වෙති).
දුක නිපාතයෙහි ගාථා අනූ අටකි. න්‍යාය දන්නා වූ තෙරවරු හතළිස් නව දෙනෙක් විසින් වදාරණ ලදහ.
දුක නිපාතය නිමි
3. තික නිපාතය
3. 1. 1.
219. “නුවණ නැතිව පිරිසිදුකම බලාපොරොත්තුවෙන් වනයෙහි ගිනි දෙවියා පිදීමි. නිවණට මග නොදන්නේ ශරීරයට දුක්දීම කෙළෙමි.
220. “ඒ නිවන් සැප මම ශරීරයට දුක්නොදී සුවසේ ලබාගතිමි. ධර්මයේ යහපත් බව බලන්න. ත්‍රිවිද්‍යාවන්ට ක්‍රමයෙන් පැමුණුනෙමි. බුදුන්ගේ අවවාදය කරණ ලදී.
221. “ජාති මාත්‍රයෙන් බ්‍රහ්මයයි කියන බ්‍රහ්ම බන්ධුවූයෙමි. දැන් පරමාර්ථ බ්‍රාහ්මණයෙක්වීමි. ත්‍රිවිද්‍යා ඇත්තෙකු වී දැන් පරමාර්ථ වශයෙන් ත්‍රිවිද්‍යා ඇත්තෙක්වීමි. සංඥා මාත්‍රයෙන් නෑවාවූ කෙනෙක් වී දැන් පරමාර්ථයෙන් නෑවෙක්වීමි. දැන් පරමාර්ථවේද දත් සොත්ථි’‘ (බ්‍රාහ්මණයෙක්) වීමි.”
ආයුෂ්මත් අංගාණික භාරද්වාජ තෙමේ මේ ගාථා කීයේය.
1. අංගාණික භාරද්වාජ ථේර ගාථා
3. 1. 2.
222. “ශෛක්ෂවූ (රහත්වීම සම්පූර්ණ නොකළ) රහත් බවට නොපැමිණි පැවිදිවී පස්දිනක් ඇති මම මගේ වාසස්ථානයට ගියේ සිතේ මෙවැනි අදහසක් විය.
223. “මගේ හෘදයෙහි තණ්හා හුල නැති නොවනතුරු නොකන්නෙමි නොබොන්නෙමි. පන්සලෙන් පිට නොවන්නෙමි. පැත්තකින් නොනිදන්නෙමි.
224. “මෙසේ වාසය කරන්නාවූ මගේ තද උත්සාහය බලන්න. ත්‍රිවිද්‍යාවන් ලද්දෙමි. බුදුන්ගේ අවවාදය කරණ ලදී.”
ආයුෂ්මත් පච්චය තෙර මෙසේ මේ ගාථා කීයේය.
2. පච්චය ථේර ගාථා
3. 1. 3.
225. “ජරාවට පත්වීමට පෙර යමක් කළයුතුද එය ඔහු පසුව කරන්නට කැමතිවේද, හෙතෙම සැපයෙන් පහවේ. පසුවද තැවෙයි.
226. “යමක් කරන්නේද එය කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. පණ්ඩිතයෝ කියන්නාවූ දෙය නොකරන්නාහු විශේෂයෙන් දැනගනිත්.
227. “යම්තැනක දුක නැතිවේද, බුදුන් විසින් වදාරණ ලද ශොක නැති, කෙලෙස් නැති, නිර්භය නිවන අතිශයින් සැපය.”
ආයුෂ්මත් බක්කුල තෙර මෙසේ මේ ගාථා කීයේය.
3. බක්කුල ථේර ගාථා