5. පඤ්චමවග්ගො
2. 5. 1.
201. “යම් තැනෙක මෙබඳු ධර්මයක් ශ්‍රාවකතෙමේ අත්දකීද? බුදුවරු ආශ්චර්යයි, ධර්මයෝ ආශ්චර්යයි. අපගේ ශාස්තෲන්වහන්සේගේ දශබලාදී සම්පත්ති ආශ්චර්යයි.
202. “අසංඛ්‍ය ගණන් කල්පයන්හි පඤ්චස්කන්ධය ලැබුවාහු ද, ඔවුන් අතරින් මේ අන්තිමයයි. මේ අන්තිම ශරීරයයි. සංසාරය ඉපදීම මරණය සහිතයි, දැන් නැවත ඉපදීමක් නැත.”
ආයුෂ්මත් කුමාරකාශ්‍යප තෙර මෙසේ මේ ගාථා කීයේය.
කුමාර කස්සප ථේර ගාථා
2. 5. 2.
203. “යම්කිසි තරුණ භික්ෂුවක් බුද්ධශාසනයෙහි ඇත්තෙන් ඇලේද, නිදාසිටින්නවුන් අතරෙහි අවදිව සිටියේද, ඔහුගේ ජීවිතය හිස් නැත.
204. “එහෙයින් බුදුන්ගේ අවවාදය සිහිකරන ඤාණවන්තයා ශ්‍රද්ධාවද, ශීලයද, පැහැදීමද, චතුරාර්යසත්‍ය ධර්මය දැකීමද, යන මෙහි යෙදෙව්.”
ආයුෂ්මත් ධර්මපාල තෙර මෙසේ මේ ගාථා කීයේය.
ධම්මපාල ථේර ගාථා
2. 5. 3.
205. “අස්ගොව්වා විසින් යහපත්ව දමනයකළ අශ්වයන් මෙන් යමෙකුගේ ඉන්ද්‍රියයෝ සන්සිඳීමට පැමිණියාහුද, මානය ප්‍රහීන කළ කෙළෙස් නැත්තාවූ නොසැලෙන උන්වහන්සේට දෙවියෝ ද ප්‍රශංසා කරත්.
206. “අස්ගොව්වා විසින් යහපත්ව දමනය කළ අශ්වයන් මෙන් මගේ ඉන්ද්‍රියයෝ සංසිඳීමට ගියාහුද, මානය ප්‍රහීන කළ කෙලෙස් නැති නොසැලෙන මට දෙවියෝද, ස්තුති කරත්.”
ආයුෂ්මත් බ්‍රහ්මාලී තෙර මෙසේ මේ ගාථා කීයේය.
බ්‍රහ්මාලි ථේර ගාථා
2. 5. 4.
207. “අපවිත්‍ර සමක් ඇති යහපත් සිතක් ඇති නිතර භාවනා කරණ සිත් ඇති මොඝරාජය, සීත කාලයෙහි හිම වැටෙන රාත්‍රීහු පැමිණේ, මහණ, නුඹ කෙසේ ධ්‍යාන කරන්නෙහිද?
208. “මුළු මගධ රට ධාන්‍යයෙන් පිරුණේයයි මා විසින් අසනලදී. යම් අනික් මහණ කෙනෙක් සැපසේ ජීවත් වේද, පිදුරු ගොඩකින් වසාගෙන සයනය කරන්නෙමි”
ආයුෂ්මත් මොඝරාජ තෙර මෙසේ මේ ගාථා කීයේය.
මොඝරාජ ථේර ගාථා
2. 5. 5.
209. “තමා උසස්කොට නොසිතයි. අනුන් පහත් නොකරයි. පරතෙරට ගියහුට ක්‍රෝධයෙන් හිංසා නොකරන්නේය. පිරිස්හි තමාගේ ගුණය ප්‍රකාශ නොකරන්නේය. නොසන්සුන්කමින් දුරුවූයේ ප්‍රමාණවත් වචන ඇත්තේ යහපත් සිරිත් ඇත්තෙක් වන්නේය.
210. “අතිශයින් සියුම් අර්ථ දැනීමෙහි දක්ෂවූ යටත් පැවතුම් ඇති ඉතා දක්ෂ වැඩිමහල්ලන් ආශ්‍රයකොට පුරුද්දක් ඇති ඔහුට නිවනට පැමිණීම පහසුය.”
ආයුෂ්මත් විශාඛ තෙර මෙසේ මේ ගාථා කීයේය.
විසාඛ පඤ්චාල පුත්ත ථේර ගාථා
2. 5. 6.
211. “යහපත් කුඩුම්බියක් ඇති, යහපත් පිල් කළඹක් ඇති, නිල් බෙල්ලක් ඇති, යහපත් මූණක් ඇති, යහපත් නාදයක් ඇති, මොණරු නාද කරත්. මේ මහපොළව නිල්තණින් වැසුණේය. වස්නා ලද ජලය ඇත්තේය. අහස වලාකුලින් ගැවසීගත්තේය.
212. “ධ්‍යාන කරන්නාවූ යහපත් සිත් ඇත්තාහට යහපත් ස්වභාවයක් ඇත්තේය. යහපත් බුද්ධශාසනයෙහි යහපත් හික්මීමක් වන්නේ යහපති. අතිශයින් සුදුවූ සියුම්වූ දැකීමට නොහැකිවූ ඒ උතුම් නිවන් පදවිය ස්පර්ශකරව.”
ආයුෂ්මත් චූලකතෙර මෙසේ මේ ගාථා කීයේය.
චූලක ථේර ගාථා