2. 3. 4.
167. “දැඩි වීර්යයෙන් යමක් කටයුතුද, අවබෝධ කරනු කැමැත්තන් විසින් යමක් කටයුතුද එය කරන්නෙමි. ධර්මය නොවරද්දන්නෙමි. යහපත් වෑයම බලන්න.
168. “ඔබද මට ඍජුවූ නිවණට පමුණුවන මාර්ගය කියන්නෙහිය. ගඟ සැඩපහරක් සාගරයට මෙන් මාර්ග ප්‍රඥාවෙන් නිවන දකිමි.”
ආයුෂ්මත් වල්ලිය තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
4. වල්ලිය ථේර ගාථා
2. 3. 5.
169. “මාගේ කෙස් කපන්නෙමියි කපුවා (කරනවෑමියා) ආවේය. ඉක්බිති කන්නාඩියක් රැගෙන ශරීරය බැළුවෙමි.
170. “ශරීරය හිස්බව දුටුවෙමි. අන්ධකාරයක් ඇතිවිය. සියලු කෙලෙස් මුල සුන් කරණ ලදී. නැවත ඉපදීමක් දැන් නැත.”
ආයුෂ්මත් වීතාසොක තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
5. වීතාසොක ථේර ගාථා
2. 3. 6.
171. “නිවනට පැමිණීමට පඤ්චනීවරණ ධර්ම අත් හැර විදර්ශනා නුවණ නැමැති තමන්ගේ ධර්ම කන්නාඩිය ගෙන,
172. “ඇතුලතවූද පිටතවූද මේ සියලු ශරීර බැලුවෙමි. ඇතුළතද පිටතද හිස් ශරීරය දුටුවෙමි.”
ආයුෂ්මත් පුණ්ණ මාස තෙරුණුවෝ මෙසේ මේ ගාථා කීහ.
6. පුණ්ණමාස ථේර ගාථා
2. 3. 7.
173. “යහපත් ආජානීය ඇත් රජ යම්සේ හැපී නවතීද බොහෝසේ සංවෙගයට පැමිණි සිත ශක්තිමත් කොට බර උසුලාද?
174. “එසේ මා මාර්ග ඥානයෙන් යුත් බුද්ධශ්‍රාවකවූ බුදුන්ගේ ඖරස පුත්‍රවූ මා ඇතෙකු කොට දරව්.”
ආයුෂ්මත් නන්දක තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
7. නන්දක ථේර ගාථා
2. 3. 8.
175. “නන්දකය එනු මැනව, උපාධ්‍යායවූ බුදුන් වෙත යමු. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ලඟ සිංහනාද කරමු.
176. “යම් කරුණක් පිණිස අපට අනුකම්පාවෙන් බුදුන් වහන්සේ අප පැවිදි කළ සේක්ද සියලු රැහැන් කැඩීමෙන් අපි ඒ අදහසට පැමිණියෙමු.”
ආයුෂ්මත් භරත තෙරණුවෝ මේ ගාථාව කීහ.
8. භරත ථේර ගාථා