2. 2. 10.
159. “ඉදින් තමාගේ සිත සමාධිගත නොවුයේ නම්, අනුන් ඔහුට පසසත්ද, (එසේ) අනුන් පසසන්නේ හිස් දෙයකි. මක්නිසාද යත් ඔහුගේ සිත සමාධිගත නැත.”
160. “ඉදින් තමාගේ සිත මැනවින් සමාධිගත වුයේ නම්, අනුන් ඔහුට ගරහත්ද, (එසේ) අනුන් ගරහන්නේ හිස් දෙයකි. මක්නිසාද යත් ඔහුගේ සිත මැනවින් සමාධිගතව ඇත.”
ආයුෂ්මත් සිරිමා තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
10. සිරිමත්ථෙරගාථා
වග්ගො දුතියො නිට්ඨිතො.
එහි උද්දානය:
චුන්ද, ජොතිදාස, හෙරඤ්ඤකානි, සොමමිත්ත, සබ්බමිත්ත, කාල, තිස්ස, කිම්බිල, නන්ද සහ සිරිමා යන මොහු මහිද්ධික තෙරවරු දස දෙනා වෙති.
3. තතියවග්ගො
2. 3. 1.
161. “මා විසින් ස්කන්ධයෝ පිරිසිඳ දන්නා ලදහ. මාගේ තෘෂ්ණාව මැනවින් උදුරා දමන ලදී. මා විසින් බොජ්ඣංගයෝ වඩන ලදහ. මා විසින් ආශ්රවක්ෂය ලබන ලදී.”
162. “ඒ මම ස්කන්ධයන් පිරිසිඳ දැන, (තෘෂ්ණා) දැල උදුරා දමා, බොජ්ඣංගයන් වඩා, ආශ්රව රහිතව පිරිනිවන් පාන්නෙමි.”
ආයුෂ්මත් උත්තර තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
1. උත්තරත්ථෙරගාථා
2. 3. 2.
163. “පනාද නම් රජෙක් විය. යමෙකුගේ රන් යූපය (ගෙයි කණුව) හරහට සොළොස් පුරුකක් ඝනකම වූයේද, උසින් දහසක් පමණ යැයි කියත්.”
164. “දහසක් කාණ්ඩ ඇත්තාවූ, සියයක් කොත් ඇත්තාවූ, ධජවලින් ගැවසුනාවූ, රන්මුවා වූ එහි ගාන්ධර්වයෝ (නළුවෝ) හයදහස් හත්සියයක් නැටූහ.”
ආයුෂ්මත් භද්දජි තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
2. භද්දජිත්ථෙරගාථා
2. 3. 3.
165. “සිහි ඇත්තාවූ, නුවණ ඇති, ශ්රද්ධාදී බල හා සම්යක් ප්රධාන වීර්ය ඇති භික්ෂුවක් වීමි. මම පන්දහසක් කල්ප එක් රාත්රියක සිහි කෙළෙමි.
166. “සතර සතිපට්ඨානද සප්ත බොධ්යංගද ආර්ය අෂ්ටාංගික මාර්ගයද වැඩීම් හේතුවෙන් පන්දහසක් කල්ප එක් රාත්රියක සිහි කෙළෙමි.”
ආයුෂ්මත් ශොභිත තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
3. සොභිත ථේර ගාථා
2. 3. 4.
167. “දැඩි වීර්යයෙන් යමක් කටයුතුද, අවබෝධ කරනු කැමැත්තන් විසින් යමක් කටයුතුද එය කරන්නෙමි. ධර්මය නොවරද්දන්නෙමි. යහපත් වෑයම බලන්න.
168. “ඔබද මට ඍජුවූ නිවණට පමුණුවන මාර්ගය කියන්නෙහිය. ගඟ සැඩපහරක් සාගරයට මෙන් මාර්ග ප්රඥාවෙන් නිවන දකිමි.”
ආයුෂ්මත් වල්ලිය තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
4. වල්ලිය ථේර ගාථා