2. 1. 10.
139. “(කුහකතෙමේ) තමා මුලින් නසයි. පසුව හෙතෙම අනුන් නසයි. වැදිතෙමේ විතංස (අත්තටු කැපූ) පක්ෂියාගෙන් මෙන් තමා විශේෂයෙන් නසී.
140. “පිටත පෙනීමෙන් බ්‍රාහ්මණයෙක් නොවේ. ඇතුළත පිරිසිදුකමින් බ්‍රාහ්මණයෙක් වේ. යමකු කෙරෙහි පවුකම් පෙණේද, සුජම්පතිය, හෙතෙම හීනපුද්ගලයෙකි.”
ආයුෂ්මත් වසභ තෙරණුවෝ මේ ගාථා මෙසේ කීහ.
10. වසභ ථේර ගාථා
වග්ගො පඨමො නිට්ඨිතො.
එහි උද්දානය:
උත්තර, පිණ්ඩොල, වල්ලිය, තීරිය ඉසි, අජින, මෙලජින, රාධ, සුරාධ, ගොතම සහ වසභ යන මොහු මහිද්ධික තෙරවරු දස දෙනා වෙති.
2. දුතියවග්ගො
2. 2. 1.
141. “ඇසීමෙන් උගත්දෙය වැඩෙන්නේය, උගත්දෙය නුවණෙ ්වැඩීමයි. නුවණින් යහපත දැනගනියි. දන්නාලද යහපත සැප පිණිසවේ.
142. “විවේක සෙනසුන් ආශ්‍රය කරව්. බැමිවලින් මිදුනු සිත් ඇතිව හැසිරෙව්, ඉදින් එහි ඇලීමකට නොපැමිණෙන්නේද, රක්නාලද සිත් ඇත්තන්වී සිහි ඇතිව සංඝයා වෙත වසව්.”
ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ මේ ගාථාව කීහ.
1. මහාචුන්ද ථේර ගාථා
2. 2. 2.
143. “දරුණු වැඩ කරණ මනුෂ්‍යයෝ සමපටින් හිස බැඳීමෙන්ද, නොයෙක් අනුන් නසන ක්‍රමවලින් මිනිසුන් පෙළත්ද, ඔව්හුද ඒ කර්මයෙහි වැටෙත්. කර්මය නම් විපාක නොදී පහනොවෙයි.
144. “මනුෂ්‍යතෙමේ යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරයිද, යමක් කරයිද, ඊට ඒ ඒ කර්මයේ ඵල යන්නේ වේ.”
ආයුෂ්මත් ජොතිදාස තෙරණුවෝ මේ ගාථාව කීහ.
2. ජොතිදාස ථේර ගාථා
2. 2. 3.
145. “රෑ දවල් දෙක වහවහා ඉක්මෙයි. ප්‍රාණයද ක්ෂණික මරණයෙන් මැරෙයි. පරමායුෂ අඩුවෙයි. කුඩා ගංගාවල ජලය මෙනි.
146. “එහෙයින් පව්කරණ මෝඩයා විපාකය නොදනී. පසුව ඔහුට දුකක්මවේ. විපාකය නම් පවිටුය.”
ආයුෂ්මත් හෙරඤ්ඤඤකානි තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
3. හෙරඤ්ඤකානි ථේර ගාථා
2. 2. 4.
147. “කුඩා දරකඩකට නැගී මහමුහුදෙහි යම්සේ ගිලේද එසේ කම්මැලියා වෙත පැමිණ යහපත්ව ජීවත්වන්නේද ගිලේ, එහෙයින් කම්මැලිවූ වීර්යය නැති ඔහු දුරුකරන්නේය.
148. “කාය විවේකයෙන් යුක්තවූ හා කෙලෙසුන්ගෙන් වෙන්වූ නිවන්වෙත යොමුකළ ජීවිත ඇති ධ්‍යානකරණ නිතර පටන්ගන්නා ලද වීර්යය ඇති පණ්ඩිතයන් හා වාසය කරන්නේය.
ආයුෂ්මත් සෝමදත්ත තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
4. සොමදත්ත ථේර ගාථා