50. 1. 1.
1096. “මම කවදා නම් පර්වත කඳුරැළිවල හුදකලා වාසයෙන් තෘෂ්ණාවෙන් තොරව වාසය කරන්නෙම්ද, සියලු භවය අනිත්‍ය වශයෙන් කවදානම් දකින්නෙම්ද, මාගේ මේ අදහස් කවදා නම් සම්පූර්ණකර ගනිම්ද?
1097. “මම කවදා නම් පැවිද්දෙක්ව භින්න වස්ත්‍ර දරා කසී වතින් හඳනා ලද්දේ කුලයා කෙරෙහිත් ගණයා කෙරෙහිත් නොඇලී කිසි අරමුණක් බලාපොරොත්තු නොවී රාගයත් ද්වේෂයත් මෝහයත් නසා වනගතව සැපසේ වෙසෙම්ද?
1098. “අනිත්‍යවූද රෝගයට හා මරණයට භාජනවූද ජරාමරණ උපද්‍රවයන්ගෙන් යුක්තවුනාවූද මේ ශරීරය කවර කලෙක මනාකොට දකිමින් වනයෙහි එකලාව වසන්නෙම්ද?
1099. “මම කවදානම් භය ඇතිකරන්නාවූද දුකට හේතුවූද භවයටම අදින තෘෂ්ණලතාව ශ්‍රද්ධා හස්තයෙන් ප්‍රඥාමය කඩුවගෙන එය සිඳ දමා කවදානම් වාසය කරම්ද?
1100. “කවදානම් තියුණු තේජස් ඇතිව ඍෂිවරයින්ගේ ප්‍රඥා නමැති ආයුධය ගෙන ක්ලෙශ සේනාව යුක්ත මාරයා විනාශකොට සිංහාසනාරූඪ වන්නෙම්ද?
1101. “මම කවදානම් ධර්ම ගෞරවය ඇත්තාවූද තාදී ගුණයන්ගෙන් යුක්තවූ නැවත දිනන ලද ඉඳුරන් ඇත්තාවූද බුද්ධාදී සත්පුරුෂ සමාගමයට පැමින ප්‍රධන්වීර්ය කිරීමෙන් යුක්තව වාසය කරන්නෙම්ද?
1102. “කවදා නම් අලස බවද සාපිසාදී දුක්වූද අවු සුළං ආදියද මැසි මදුරු ආදී උවදුරුද ධ්‍යානයෙන් මැඩ පවත්වා පර්වත කඳුරැලි ආදියෙහි ස්වකීයාර්ථය සිද්ධ කර ගනිමින් වසන්නෙම්ද?
1103. “කවදානම් මහර්ෂීවූ බුදුන් විසින් අවබෝධ කරනලද දැකීමට දුෂ්කරවූ (චතුශ්සත්‍ය ධර්මය සිහිය හා ප්‍රඥාව ඇති එකඟ සිතින් යුක්තව කවදානම් අවබෝධ කරගන්නෙම්ද?
1104. “කවදානම් නුවණින් නොදක්නාලද රූපයෙහිද ශබ්දයෙහිද ගන්ධයෙහිද රසයෙහිද ස්පර්ශයෙහිද ධර්මයෙහිද එකොළොස් ගින්නකින් ඇවිලෙමින් පවත්නේ සමථයෙන් යුක්තවූ ප්‍රඥාවෙන් මම කවදානම් දකින්නෙම්ද?
1105. “මම කවදානම් නපුරු වචන වලින් ඝටනා ලද්දේ දොම්නසට නොපැමිනෙම්ද, එසේම ප්‍රශංසා කරන ලද්දේත් ඒ නිමිතිකොට සතුරු නොවන්නේත්වෙම්ද? මේ තත්වය කවදා නම් මට ඇතිවන්නේද?
1106. “කවදානම් දරකඩෙහිද තෘෂ්ණාලතාවෙහිද ස්කන්ධයෙහිද එයින් අන්‍යවූ රූපධර්මයන්හිද යන අධ්‍යාත්මිකවූද බාහිරවූද සෑමදෙයක අනිත්‍යාදි ස්වභාවය දකින්නෙම්ද?
1107. “කවදානම් වර්ෂා කාලයෙහි වනගතව තෙමුණු සිරුරු ඇතිව බුද්ධාදී මහාර්ෂීන් විසින් පිළිපදිනලද මාර්ගයෙහි හැසිරෙම්ද?
1108. “කවදානම් වනයෙහි පිල් ඇත්තාවූද මොනර සමූහයාගේ හඬ අසා අවදිවීමෙන් නිවන් පිණිස පවතින භවයෙහි අනිත්‍යාදී ස්වභාවය සිහිකරමින් වෙසෙම්ද?
1109. “කවදානම් ගංගා යමුනා සරස්වතී යන ගංගාවෝ පාතාලගතව මහා සමුද්‍රයට පිවිසීමෙන් සුළිබවට පැමිණේද ඒ භයානක අවස්ථාවෙහි පස් ඉර්ධිබලයෙන් යුක්තව බිය නොවී වාසය කෙරෙම්ද,
1110. “දැඩිවූ වැටක් බිඳහෙලා යකඩ දම්වැල් කඩා වනයට පිවිස තනිව වෙසේද එසේම මමත් කාම වස්තූන්හි ආශාව නැතිකොට කලකිරී සියලු ශුභ නිමිති හැරදමා ධ්‍යානයෙන් යුක්තව කවදානම් වාසය කරන්නෙම්ද?
1111. “දිළින්ඳෙක් ණය බරින් කරදරවූයේ නිධානයක් ලැබ ණය ගෙවා සතුටින් වාසය කෙර්ද, එසේම මමත් කවදානම් ණය හා සමාන කාමච්ඡන්දය දුරුකොට ආර්ය ධනයෙන් යුක්ත බුදුන්ගේ ශාසනයට පැමිණ කවදානම් සතුටින් වාසය කරන්නෙම්ද,
1112. “එම්බා චිත්තය, තා විසින් බොහෝ අවුරුදු ගණන් ගිහිගෙයි වැසීමෙන් බොහෝ දේ ඉල්ලන්නෙක් වූයෙහිය. දැන් වනාහි මම පැවිදි බවට පත්වූයේ කුමක් හෙයින් එහි නොයෙදී වසන්නෙම්ද,
1113. “එම්බල චිත්තය, මම වනාහි තා විසින් යාචිතවූයේ විසුවෙමි. වනයෙහි වසන මයුරයන් මේඝගර්ජනාවෙන් සන්තොෂයට පත්වන්නෙක් මෙන් ධ්‍යානයෙන් සන්තොෂයට පැමිණ වනයෙහි වෙසෙම්ද,
1114. “ඥාතිකුලාදී කුලයෝද මිත්‍රයෝද ප්‍රියයෝද කාම ක්‍රීඩාවෝද යන ලෝකයට අයිති දේ හැරදමා පැවිදි බවට පත්වූයේ චිත්තසන්තොෂයෙන් යුක්තව වාසය නොකරන්නෙම්ද,
1115. “එම්බල චිත්තය, තෝ වනාහී මගේද අනිකෙක් නොවන්නෙහිද භාවනා කලයුතු කාලයෙහි හැඬීමෙන් කවර ප්‍රයෝජනද ත්‍රෛභූමික සංස්කාරයන් අස්ථිර බව පැණැසින් බලන්නේ නිවන් සොයන්නෙමි.