20. 1. 9.
“මවුපියන්ද, සහෝදර සහෝදරීන්ද, නෑ පිරිසද, හැර පඤ්චකාමයෙන් තොරව අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ධ්‍යාන කරයි.
“නෘත්‍ය ගීතාදියෙන් යුක්තව සුන්දර තාලශබ්දයෙන් ප්‍රබොධවනුයේ විසුවෙමි. මාරවිෂයෙහි ඇලුනේ එයින් ශුද්ධියක් නොවන බව දැන,
“එයද හැරදමා බුද්ධශාසනයෙහි ඇලුනේ සියලු සැඩ වතුර ඉක්මවා අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ධ්‍යාන කරයි.
“මනෝරම්‍යවූ රූපයෝද, ශබ්දයෝද, ගන්ධයෝද රසයෝද, ස්පර්ශයෝද යන මේ සියල්ලම හැරදමා අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ධ්‍යානකරයි.
“පිඬු සිගීමෙන් නැවතුනේ තනිවූයේ තෘෂ්ණාව නැත්තේ ඤාණවන්තවූයේ පාංශුකූල චීවරයන් සොයනුයේ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ධ්‍යාන කරයි.
“සෙවීමෙන් පිළිකුල්කොට ගනුලබනුයේ එය ධොවනයකොට හා රජනයකොට (සෝදා පඬුපොවා) ඒ පාංශුකූල චීවරයම කැපකොට පොරවා අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ කෙලෙස් නැතිව වෙසෙයි.
“බොහෝ දෙයක් කැමතිවීමද, ස්වල්පදෙයකින් සතුටු නොවීමද, ගිහි පැවිද්දන් හා සංසර්ග වීමද උඩඟුබවද, යන මේ කරුණු ලාමක කෙලෙසීම බවට හේතුවන ධර්මයෝය.
“යමෙක් සිහියෙන් යුක්තවේද, අල්පෙච්ඡ ගුණයෙන් යුක්තවේද, සන්තෝෂ ගුණයෙන් යුක්තවේද, සිත එකඟ ගුණයෙන් යුක්තවේද, විවේක ගුණයෙන් යුක්තවේද, පටන් ගන්නාලද වීර්ය ඇත්තේද,
“ඒ පුද්ගලයාට මේ කියන යහපත් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද; හෙතෙම අනාශ්‍රවද වෙයි. මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේ මේ බව වදාළහ.
“මගේ චිත්ත සංකල්පනාවෝ දැන ලෝකයෙහි නිරුත්තරවූ ශාස්තෲන් වහන්සේ මනෝමය ඉර්ධියෙන් යුක්ත කයින් මා කරා පැමිණිසේක.
“යම්කලෙක මට චිත්ත සංකල්පනාවෝ වූවාහුද එයින් මත්තෙහි සම්පූර්ණ කිරීම් වශයෙන් උන්වහන්සේ දෙසූසේක. ප්‍රමාදකරවන ධර්මයන්හි නො ඇලුනාවූ බුදුන් වහන්සේ ප්‍රමාද නොවන ධර්මය දෙසූසේක.
“මම උන්වහන්සේගේ ධර්මය දැන ශාසනයෙහි ඇලී විසුවෙමි. ත්‍රිවිද්‍යාවද ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද කෙළෙමි.
“මම පස් පණස් හවුරුද්දක් නේසජ්ජිකාංගය විසුවෙමි. විසිපස් හවුරුද්දක් නිදි වර්ජිතව විසුවෙමි.
“චතුර්ථධ්‍යානයෙහි නැවති සිත් ඇත්තාවූද තාදී ගුණයෙන් යුක්තවූද, තෘෂ්ණාව නැත්තාවූද, පසැස්ඇත්තාවූ බුදුරජාණන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නැත්තාහුය උන්වහන්සේ නිවන් අරභයා පිරිනිවන් පෑසේක.
“කුසීත නොවූ සිතින් යුක්තව මරණාන්තික වේදනාව ඉවසූසේක. පහනක් නිවීගියාක්මෙන් සිත විමොක්ෂ භාවයට පත්විය.
“මුනීන්ද්‍රයන් වහන්සේගේ ස්පර්ශය පස්වෙනිකොට පවත්නාවූ රූපාදී ධර්මයෝ අවසන් වූවාහුය. පිරිනිවන් පෑ බුදුන් කෙරෙහි අන්‍ය ධර්මයෝද ඇතිනොවෙත්.
“යම්කිසි දේව නිකායක හටගැණීමක් හෝ නොවෙයි. ජාති සංසාරය ක්ෂය කරණලදහ. පුනර්භවයක් නැත්තේය.
“යම් ක්ෂීණාශ්‍රව භික්ෂුවකට මොහොතකින් බඹලොව ඇතුළුව සියලු ලොකධාතුව දතහැක්කේද, එබඳු ඍද්ධිගුණ ඇත්තාවූද, චුති උත්පත්ති දෙක දක්නාවූද, ඒ භික්ෂුව දෙවියෝ දකිත්.
“මම පෙර කලෙක අන්නහාර නම් බැළමෙහෙකොට ජීවත්වූ දිළින්දෙක් වීමි. එකල්හි කීර්තිමත් උපරිට්ඨ නම් පසේබුදුවරයන් වහන්සේට දානයක් දුන්නෙමි.
“ඒ කුශලයෙන් මම ශාක්‍යකුලයෙහි උපන්නේ නෘත්‍ය ගීතාදියෙන් යුක්තවූයේ යහපත් තාල ශබ්දයෙන් ප්‍රබෝධවනුයේ අනුරුද්ධ නම් විය.