20. 1. 10.
“මල් පිපුණු මහා වනයෙහි එකඟ සිතින් හුන් විවේකීව ධ්‍යාන කරන ශ්‍රමණයාට මේ සිතුවිල්ල ඇතිවිය.
“පුරුෂොත්තමවූද ලෝකනාථවූද, බුදුන්වහන්සේ ජීවමානව වැඩසිටින කල්හි භික්ෂූන්ගේ ඉරියව් පැවැත්ම අන්පරිද්දෙකින් විය. දැන් වනාහි ඊට වඩා වෙනස් ආකාරයකින් පෙණේ.
“ඒ අවස්ථාවෙහිද සීත සුළඟින් ආරක්ෂාවීම පිණිසත් ලජ්ජා ස්ථාන වැසීම පිණිසත් සිවුරු පරිභොග කෙළෙමි. ප්‍රත්‍ය සන්තොෂයෙන් යුක්තවද වැළඳුවෙමි.
“ප්‍රණීතවූ හෝ අප්‍රණීතවූ හෝ ස්වල්පවූ හෝ බොහෝවූ හෝ ප්‍රත්‍යලැබීමෙහිදී ගිජුබැව් නොකොට එහි නොඇලී යැපෙන පමණක් ගෙණ වැළඳුවෙමි.
“දිවි පැවැත්මට හේතුවන බෙහෙත් පිරිකර ආදියෙහිද දැඩිඋනන්දුවක් නොදැක්වූවාහුය. ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීමෙහිම උත්සාහවන්තවිය.
“කැලෑවද, රුක්මුල්හිද, කඳුවලද, ගුහාවලද විවේකයෙන් යුක්තව භාවනා කරනුයේ විවේකයම උතුම් කොට සැලකුවාහුය.
“යටහත් පැවතුම් ඇත්තේ, ශ්‍රද්ධා ඇත්තේ, පහසු පෝෂණයෙන් යුක්තවූයේ මෘදු බැව් ඇත්තේ, තද නොවූ සිත් ඇත්තේ සිහියෙන් යුක්තවූයේ මුඛර නොවූයේ යහපත කැමැති සිත් ඇත්තේ එහිම ඇලී විසීය.
“එහෙයින් ප්‍රසාදබවට පැමිණියේ කාය වාග්ප්‍රයෝග යොදා ප්‍රත්‍ය පරිභෝගයෝද ගෝචරාකාරයෙන් පැවතුනේ විය. ඉරියාපථයවනාහි සිනිඳු තෙල් ධාරාවක් ගලන්නාක් මෙන් විය.
“මහත්වූ ධ්‍යාන ඇත්තේද, මහත්වූ සිතින් යුක්ත වූයේද සියලු ආශ්‍රව ධර්මයන් ප්‍රහීණ කරනලද්දේ පිරිනිවන් පෑවාහුය. දැන් වනාහි එබඳු ගුණ ඇති ස්ථවිරයන්වහන්සේලා ස්වල්පයහ.
“කුශල ධර්මයන්ගේ හා ප්‍රඥාවගේ පිරිහීමෙන් සියලු ආකාරයන් ගෙන් උතුම්වූ සර්වඥශාසනය වැනසෙයි.
“පාප ධර්මයන්ගෙන් හා ක්ලේශයන්ගෙන් යුක්ත වූ කාලය පැමිණියාහුය. එබැවින් විවේකය දියුණුකොට ධාර්මික ප්‍රතිපත්තිය සිද්ධකර ගැනීමට නොහැකිවිය.
“කෙලෙස්වලින් වැඩෙන්නාවූ අන්ධ බාල ජනයන් අනුව හැසිරෙත්. උමතු රාක්ෂසයන්ගේ ක්‍රීඩා පරවශව බාලයන් මෙන් හැසිරෙත්.
“ක්ලේශයන්ගෙන් මඩනාලද සිත් ඇතිව ඒ ඒ තැන්හි දුවනුලබන්නාවූ ක්ලේශ වස්තූන්හිම ඇලී රන් රුවන් විසුරුවාගනුවයි කී කල්හි කැමැති කැමැති හැටියට ගනුලබන්නාක් මෙන් විය.
“සද්ධර්මය බැහැරකොට දෘෂ්ටීන්ට බැසගන්නා ලදුව මෙයම ශ්‍රේෂ්ඨයයි ඔවුනොවුන් කලහ කරත්.
“පුත්‍රයෝද ධනයද භාර්යාවද හැරදමා එයින් නික්මී බත් සැන්දක් පමණකට නොකටයුතු කරත්.
“බඩ පිරෙනතුරු කා උඩුකුරුව හොවිත්. නැගිටීමෙන් පසුව බුදුන් විසින් ගරහනලද තිරිසන් කථාවන් කථා කරත්.
“කුඩා තල් අතු ආදී හස්ත ශිල්පයෝද සකස්කොට කිරීමෙන් නොහික්මී නොසන්සුන් සිත් ඇතිව ශ්‍රමණභාවය ඉක්මවත්.
“මැටි තෙල් සුණු යනාදියද, දිය භෝජන ආසන යනාදියද, වැඩියක් කැමැතිබැව් ඇතිව ගිහීන්ට දෙත්.
“දැහැටි දඬුද, දිවුල්ද, මල්ද, පිණ්ඩපාතයෙන් ලැබුණු කැවිලිද අඹ නෙල්ලි යනාදි ගෙඩිද වැඩිදෙයක් කැමැතිව ගිහියන්ට දෙත්.
“වෙදුන් මෙන් බෙහෙත් කිරීමෙහි යෙදෙයි. ගිහියන්ගේ ලොකු කුඩා කටයුතුවලදී ගිහියන්මෙන් කටයුතු කරයි. ශරීරය සැරසීමෙහි වෙසෙඟනන් මෙන් කටයුතු කරයි. එෛශ්චර්යයෙහි ක්ෂත්‍රියයන් මෙන් වැඩකරත්.
“රන් නොරන් ආදී වශයෙන් පෙන්වා කරණ විජ්ජාවලින්ද කූටමානාදී වශයෙන් කරන වංචනික ක්‍රියාවන්ගෙන්ද යන බොහෝ වැරදි ජීවිකාවන්ගෙන් ආමිෂ පරිභොගය කරයි.