20. 1. 8.
“ශ්‍රමණය, ඔබ යන්නේම සිටියෙමියි කියයි මමද සිටියේ නොසිටියෙමියි කියන්නෙමි. ශ්‍රමණය මේ අර්ථය මම විචාරමි. ඔබ කෙසේ සිටියෙහිද මම කෙසේ නොසිටියෙම්ද?
“අංගුලිමාලය, මම සියලු සත්වයන් කෙරෙහි දඬු මුගුරු බහා තබා සැමකල්හි සිටියේ වෙමි. තෝ සත්වයන් කෙරෙහි අකරුණාවන්තව වසන්නෙහිය. එහෙයින් මම සිටියෙමි. තෝ නොසිටියේ වෙහි.
“මට අනුකම්පා පිණිස ලෝකයා විසින් පුදනු ලබන්නාවූ මහර්ෂීවූ ශ්‍රමණයන්වහන්සේ මෙහි වැඩිසේක. ඒ මම උන් වහන්සේගේ ධර්මයෙන් යුක්තවූ ගාථා ඇසුවෙමි. ඒ අසා බොහෝ කලක් පුරුදු කරන ලද පාප සහශ්‍රයන් දුරුකර හැරීමි.
“ඊට අනතුරුව අඟුමල් සොරතෙමේ කඩුව හා සෙසු ආයුධත් ප්‍රපාතවූ විවරස්ථානයක හෙලුවේය. ඉක්බිති අඟුල් මල් සොරතෙමේ සුගත්වූ බුදුන් වහන්සේගේ පාද වැන්දේය. එහිදීම ප්‍රව්‍රජ්‍යාවද ඉල්ලීය.
“දෙවියන් සහිත සත්ව ලෝකයට මහා කාරුණිකවූද මහර්ෂීවූද බුදුන් වහන්සේ ‘එව භික්ෂුවයි’ කියා වදාළහ. ඔහුට එයම එහි භික්ෂුභාව ප්‍රව්‍රජ්‍යාවට හේතු විය.
“යමෙක් පළමුව ප්‍රමාදවිහරණයෙන් යෙදී, පසුව අප්‍රමාදයෙන් යුක්ත වේද, උපක්ලේශ රහිත චන්ද්‍රයා නේ හෙතෙම මේ ලෝකය බබුළුවයි.
“යමෙක් කරන ලද පාපකර්ම, කුශල්වලින් වසාද, ඔහු උපක්ලේශ රහිත චන්ද්‍රයා මෙන් මේ ලෝකය බබුළුවයි.
“යම් භික්ෂුවක් තරුණවූද බුදුසසුන්හි යෙදුනේ නම් උපක්ලේශ රහිත චන්ද්‍රයා මෙන් මේ ලෝකය බබුළුවයි.
“මගේ විරුද්ධකාරයෝද, ධර්මය අසත්වා, මගේ විරුද්ධකාරයෝද බුද්ධශාසනයෙහි යෙදෙත්වා, මගේ විරුද්ධකාරයෝද සත්පුරුෂයන් ඇසුරු කරත්වා. සත්පුරුෂයෝ වනාහි යහපත් ධර්මවල පිහිටුවත්.
“මගේ විරුද්ධකාරයන් විසින් ශාන්තිය කියන්නාවූ මෛත්‍රියට ප්‍රශංසා කරන්නාවූ ධර්මය සුදුසු කාලයෙහි අසත්වා, එයම ඉගෙණ ඊට අනුව කටයුතු කෙරෙත්වා,
“විරුද්ධකාරයෝ මට හිංසා නොකරත්වා, අන්කිසිවෙකුටත් හිංසා නොකරත්වා, පරමශාන්තියට පැමිණ චංචල වූද, නිශ්චලවූද, සත්වයන් ආරක්ෂා ලබත්වා,
“දිය ගෙනයන්නෝ කැමති තැන්වලට ගෙණයත්. හී වඩුවෝ ඍජුකොට ඊතල සාදා ගනිත්. වඩුවෝ කැමැති පරිදි දැව ඇද හැර සැස ගනිත්. එසේම පණ්ඩිතයෝ තමන් දමනය කර ගනිත්.
“සමහරු දඬුවලින්ද, දමනය කර ගනිත්. සමහරු අංකුසයෙන්ද (හෙණ්ඩුවෙන්) සමහරු කසයෙන්ද දමනය කරත්. මම වනාහි එබඳුවූ දඬු නැතිවද, ආයුධ නැතිවද දමනය වීමි.
“පළමුවෙන් මම හිංසකයකුවූයේම අහිංසක නාමය ලදිමි. අද සත්‍යවශයෙන්ම මම අහිංසක වූයෙමි. කිසිවෙකුට මම හිංසා නොකරමි.
“මම මීට පළමුව මිනිසුන් මරණ සොරෙකු වීමි. අංගුලිමාල යයි ප්‍රසිද්ධ වීමි. කාමෝඝයෙන් ගසාගිය මම බුදුන් සරණ ගියෙමි.
“මම ලේ පෙරෙන අංගුලිමාල නමින් විසුවෙමි. පසුව සරණාගමනයට පැමිණ භවය සුන්කළ හැටි බලව.
“එබඳුවූ අගතිගාමී බොහෝ අකුසල කර්ම කොට ප්‍රහීනකරන ලද කර්මවිපාක ඇත්තේ, කෙලෙස් ක්ෂය කරන ලද්දේ, සිවුපසය වළඳමි.
“දුශ්ප්‍රාඥවූ අඥාන පුද්ගලයෝ ප්‍රමාදයෙන් කල්ගත කරත්. ඥානවන්තයෝ අප්‍රමාදය ශ්‍රේෂ්ඨ ධනයක් මෙන් රකිත්.
“ප්‍රමාදයෙහි නොයෙදෙව්. කාමරති සන්ථවයද, නොකරව්. අප්‍රමාදව ධ්‍යාන කරන පුද්ගලයෝ උතුම් සැපයට පැමිණෙත්.
“මගේ ඊම යහපත් ඊමක් විය. නොආයේ නම් නපුරුය. පැවිදිවෙමියි සිතීමද, යහපත් සිතීමෙකි. එය නොසිතුවේ නම් නපුරෙකි. සාවද්‍ය අනවද්‍ය ධර්මයන් කෙරෙහි යම් නිර්වාණයක් ශ්‍රේෂ්ඨවේද, එයට පැමිණියෙමි.