20. 1. 6.
භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්පූර්ණ සිරුරක් ඇත්තාහ. මනා රූප ඇත්තාහ. මනා කොට උපන්නාහ. දැකුම්කලු දර්ශන ඇත්තාහ. රන්වන් වූ සිරුර ඇත්තාහ. සුදු දත් ඇත්තාහ. වීර්ය ඇත්තාහ.
මනා කොට උපන් නරයෙකුගේ යම් ඒ ලක්ෂණ කෙනෙක් වෙත් ද, මහාපුරිස ලක්ෂණ වූ ඒ සියල්ල ඔබගේ කයෙහි වෙති.
පැහැදුනු ඇස ඇත්තේය. යහපත් මුව මඬලක් ඇත්තේය. උස මහතය. ඍජුය. ආනුභාව සම්පන්නය. ශ්රමණ පිරිස මැද සූර්යයා මෙන් බබළයි.
යහපත් දැකුම් ඇති රන්කඳකට බඳු සිවියක් ඇති භික්ෂූන් වහන්ස, මෙවැනි උතුම් වර්ණයෙන් යුත් ඔබ වහන්සේට ශ්රමණ භාවයෙන් කවර ප්රයෝජනද?
ඔබ වහන්සේ සතර මහා දිවයිනට අධිපති වූ, දිනනසුළු වූ, ජම්බුද්වීපයට ඊශ්වර වූ, චක්රවර්තී රජ වන්නට සුදුසුය. රථයට වෘෂභයෙකු බඳුය.
මහත් භොග ඇති ක්ෂත්රිය රජවරු ඔබට අනුකූල වෙත්. ගෞතමයන් වහන්ස, රජුන්ට රජ වූ මනුෂ්යයන්ට අධිපති ව රජ කරනු මැනව.
“සෙලය, මම රජ වෙමි” යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. “මම නිරුත්තර වූ ධර්ම රාජ වෙමි. ධර්මයෙන් චක්රය පවත්වමි. ඒ චක්රය කිසිවෙකු විසින් ආපසු පෙරළිය නොහැකිය.”
“ඔබ වහන්සේ සම්බුද්ධ යයි ප්රතිඥා කරන්නාහ” යි සේල බ්රාහ්මණ තෙමේ කීය. “නිරුත්තර වූ ධර්මරාජ වෙමි, ධර්මයෙන් චක්රය පවත්වමි’ යි ගෞතමයන් වහන්සේ වදාරන සේක.”
“භවතුන්ගේ සේනාපති වූ, ශාස්තෘන් වහන්සේ අනුව යන්නා වූ ශ්රාවක තෙමේ කවරේ ද? ඔබ වහන්සේ විසින් පවත්වන ලද ධර්ම චක්රය කවරෙක් අනුව පවත්වයි ද?”
“සෙලය, මා විසින් පවත්වන ලද, නිරුත්තර වූ ධර්ම චක්රය” යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. “තථාගතයන් වහන්සේ අනුව උපන් සාරිපුත්ත තෙමේ අනුව පවත්වයි.”
බ්රාහ්මණය, ම විසින් දත යුත්ත දැනගන්නා ලදී. වැඩිය යුත්ත වඩන ලදී. දුරු කළ යුත්ත දුරු කරන ලදී. එහෙයින් මම බුද්ධ වෙමි.
බ්රාහ්මණය, මා කෙරෙහි සැකය දුරු කරව. (මා බුදු යයි) තීරණය කරව. සම්බුදුවරුන්ගේ දර්ශනය නිතර දුර්ලභ වේ.
බ්රාහ්මණය, ලෝකයෙහි යම් කෙනෙකුන්ගේ නිතර පහළ වීම දුර්ලභ ද, ඒ සම්බුද්ධ වූ නිරුත්තර ශල්යකර්තෘ (හෙවත් වෛද්යවරයා) මම වෙමි.
බ්රහ්මභූත වූ, අසම වූ, මාර සේනාව මැඩලන, සියලු සතුරන් වසඟ කොට බිය නැති ව සතුටු වෙමි.
පින්වත්නි, පසැස් ඇති භාග්යවතුන් වහන්සේ යමක් වදාරා ද, ශල්යකර්තෘ වූ මහාවීරයන් වහන්සේ සිංහයෙකු මෙන් වනයෙහි යම් සේ නාද කෙරේ ද, මෙය අසව්.
බ්රහ්මභූත වූ, අසම වූ, මාර සේනාව මැඩලන බුදුන් දැක, කෘෂ්ණාභිජාතික වූවෙක් (නීච ජාති ඇත්තෙක්) වුව ද කවරෙක් නොපහදින්නේ ද?
යමෙක් මා අනුව එන්නට කැමති ද හෙතෙම එයි වා. යමෙක් නොකැමති ද හෙතෙම යයි වා. මම මෙහි වරප්රඥ ඇත්තන් වහන්සේ සමීපයෙහි පැවිදි වන්නෙමි.
ඉදින් පින්වතාට වරප්රඥ ඇත්තන් වහන්සේ සමීපයෙහි පැවිදි වීමට කැමති නම්, මේ සම්මා සම්බුද්ධ ශාසනය රිසි වේ නම්, අපි ද පැවිදි වන්නෙමු.
භාග්යවතුන් වහන්ස, මේ තුන්සියයක් බ්රාහ්මණයෝ ඇඳිලි බැඳගෙන යාච්ඤා කරති. ‘ඔබ වහන්සේ සමීපයෙහි බ්රහ්මචර්යයෙහි හැසිරෙන්නෙමු’ (කියායි).
“සෙලය, බ්රහ්මචර්යය මනා කොට දේශනා කරන ලද්දේය” යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. “එය මෙලොව දී ම විපාක දෙන්නේ ය. කල් නොයවා විපාක දෙන්නේ ය. යම් ශාසනයක අප්රමාද ව හික්මෙන්නහුට පැවිද්ද හිස් එකක් නොවේ.”
පසැස් ඇති භාග්යවතුන් වහන්ස, යම් දිනක අපි ඔබ වහන්සේ සරණ ගියෙමු ද, මේ අදට අටවෙනි දිනයයි. සත් දවසකින් ඔබ වහන්සේගේ ශාසනයෙහි දැමුනෙමු.
ඔබ වහන්සේ බුද්ධය. ඔබ වහන්සේ ශාස්තෘය. ඔබ වහන්සේ මාරයා මැඩලූ මුනිවරයා ය. ඔබ වහන්සේ අනුශය සිඳ දමා, (සසරින්) තරණය වී මේ සත්ව ප්රජාව ද තරණය කරවති.
ඔබ වහන්සේ විසින් උපධීහු ඉක්මවන ලදහ. ඔබ වහන්සේ විසින් ආශ්රවයෝ පලන ලදහ. උපාදාන රහිත වූ සිංහයෙකු වැනි වූ ඔබ වහන්සේ භය හා භයානක අරමුණු දුරු කළහ.
වීරයන් වහන්ස, මේ භික්ෂූහු තුන් සියයක් දෙනා ඇඳිලි බැඳගෙන සිටිති. පාදයන් දිගු කළ මැනව. (කෙලෙස් රහිත) නාගයෝ ශාස්තෘන් වහන්සේට වඳිත්වා.
මෙසේ ආයුෂ්මත් සේල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
සේල ස්ථවිර ගාථා.