20. 1. 5.
ඇසින් රූපය දැක සිහිය මුලාවී, ශුභ නිමිති වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිත රාගයෙන් රත් වේ. හෙතෙම එය ආශ්වාද කරයි. එහි බැසගෙන සිටියි.
රූපයෙන් හටගත් අනේකවිධ වූ ඒ වේදනාවෝ ඔහුට වැඩෙත්. ලෝභය ද ද්වේෂය ද යන මෙයෝ ඔහුගේ සිත පෙළත්. මෙසේ (දුක) රැස් කරන්නහුට නිවන දුර යයි කියනු ලැබේ.
කණින් ශබ්දය අසා සිහිය මුලාවී, ශුභ නිමිති වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිත රාගයෙන් රත් වේ. හෙතෙම එය ආශ්වාද කරයි. එහි බැසගෙන සිටියි.
ශබ්දයෙන් හටගත් අනේකවිධ වූ ඒ වේදනාවෝ ඔහුට වැඩෙත්. ලෝභය ද ද්වේෂය ද යන මෙයෝ ඔහුගේ සිත පෙළත්. මෙසේ (දුක) රැස් කරන්නහුට නිවන දුර යයි කියනු ලැබේ.
නාසයෙන් ගන්ධය ආඝ්‍රාණය කොට සිහිය මුලාවී, ශුභ නිමිති වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිත රාගයෙන් රත් වේ. හෙතෙම එය ආශ්වාද කරයි. එහි බැසගෙන සිටියි.
ගන්ධයෙන් හටගත් අනේකවිධ වූ ඒ වේදනාවෝ ඔහුට වැඩෙත්. ලෝභය ද ද්වේෂය ද යන මෙයෝ ඔහුගේ සිත පෙළත්. මෙසේ (දුක) රැස් කරන්නහුට නිවන දුර යයි කියනු ලැබේ.
දිවෙන් රස විඳ සිහිය මුලාවී, ශුභ නිමිති වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිත රාගයෙන් රත් වේ. හෙතෙම එය ආශ්වාද කරයි. එහි බැසගෙන සිටියි.
රසයෙන් හටගත් අනේකවිධ වූ ඒ වේදනාවෝ ඔහුට වැඩෙත්. ලෝභය ද ද්වේෂය ද යන මෙයෝ ඔහුගේ සිත පෙළත්. මෙසේ (දුක) රැස් කරන්නහුට නිවන දුර යයි කියනු ලැබේ.
කයින් ස්පර්ශය ස්පර්ශ කොට සිහිය මුලාවී, ශුභ නිමිති වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිත රාගයෙන් රත් වේ. හෙතෙම එය ආශ්වාද කරයි. එහි බැසගෙන සිටියි.
ස්පර්ශයෙන් හටගත් අනේකවිධ වූ ඒ වේදනාවෝ ඔහුට වැඩෙත්. ලෝභය ද ද්වේෂය ද යන මෙයෝ ඔහුගේ සිත පෙළත්. මෙසේ (දුක) රැස් කරන්නහුට නිවන දුර යයි කියනු ලැබේ.
සිතින් ධර්මය දැන සිහිය මුලාවී, ශුභ නිමිති වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිත රාගයෙන් රත් වේ. හෙතෙම එය ආශ්වාද කරයි. එහි බැසගෙන සිටියි.
ධර්මයෙන් හටගත් අනේකවිධ වූ ඒ වේදනාවෝ ඔහුට වැඩෙත්. ලෝභය ද ද්වේෂය ද යන මෙයෝ ඔහුගේ සිත පෙළත්. මෙසේ (දුක) රැස් කරන්නහුට නිවන දුර යයි කියනු ලැබේ.
හෙතෙම රූපය දැක සිහිය පිහිටුවා ගත්තේ රූපයන්හි නොඇලෙයි. විරාගී වූ සිත් ඇත්තේ එය වින්දනය කරයි. එහි බැස නොගත්තේ සිටියි.
යම් සේ රූපය බලන, වේදනාව සේවනය කරන ඔහුගේ (වේදනාවෝ) ක්ෂය වෙත් ද, රැස් නොවෙත් ද, මෙසේ හෙතෙම සිහියෙන් යුක්ත ව හැසිරෙයි. මෙසේ (දුක) ක්ෂය කරන්නහුට නිවන සමීප යයි කියනු ලැබේ.
හෙතෙම ශබ්දය අසා සිහිය පිහිටුවා ගත්තේ ශබ්දයන්හි නොඇලෙයි. විරාගී වූ සිත් ඇත්තේ එය වින්දනය කරයි. එහි බැස නොගත්තේ සිටියි.
යම් සේ ශබ්දය අසන, වේදනාව සේවනය කරන ඔහුගේ (වේදනාවෝ) ක්ෂය වෙත් ද, රැස් නොවෙත් ද, මෙසේ හෙතෙම සිහියෙන් යුක්ත ව හැසිරෙයි. මෙසේ (දුක) ක්ෂය කරන්නහුට නිවන සමීප යයි කියනු ලැබේ.
හෙතෙම ගන්ධය ආඝ්‍රාණය කොට සිහිය පිහිටුවා ගත්තේ ගන්ධයන්හි නොඇලෙයි. විරාගී වූ සිත් ඇත්තේ එය වින්දනය කරයි. එහි බැස නොගත්තේ සිටියි.
යම් සේ ගන්ධය ආඝ්‍රාණය කරන, වේදනාව සේවනය කරන ඔහුගේ (වේදනාවෝ) ක්ෂය වෙත් ද, රැස් නොවෙත් ද, මෙසේ හෙතෙම සිහියෙන් යුක්ත ව හැසිරෙයි. මෙසේ (දුක) ක්ෂය කරන්නහුට නිවන සමීප යයි කියනු ලැබේ.
හෙතෙම රසය විඳ සිහිය පිහිටුවා ගත්තේ රසයන්හි නොඇලෙයි. විරාගී වූ සිත් ඇත්තේ එය වින්දනය කරයි. එහි බැස නොගත්තේ සිටියි.
යම් සේ රසය විඳින, වේදනාව සේවනය කරන ඔහුගේ (වේදනාවෝ) ක්ෂය වෙත් ද, රැස් නොවෙත් ද, මෙසේ හෙතෙම සිහියෙන් යුක්ත ව හැසිරෙයි. මෙසේ (දුක) ක්ෂය කරන්නහුට නිවන සමීප යයි කියනු ලැබේ.
හෙතෙම ස්පර්ශය ස්පර්ශ කොට සිහිය පිහිටුවා ගත්තේ ස්පර්ශයන්හි නොඇලෙයි. විරාගී වූ සිත් ඇත්තේ එය වින්දනය කරයි. එහි බැස නොගත්තේ සිටියි.
යම් සේ ස්පර්ශය ස්පර්ශ කරන, වේදනාව සේවනය කරන ඔහුගේ (වේදනාවෝ) ක්ෂය වෙත් ද, රැස් නොවෙත් ද, මෙසේ හෙතෙම සිහියෙන් යුක්ත ව හැසිරෙයි. මෙසේ (දුක) ක්ෂය කරන්නහුට නිවන සමීප යයි කියනු ලැබේ.
හෙතෙම ධර්මය දැන සිහිය පිහිටුවා ගත්තේ ධර්මයන්හි නොඇලෙයි. විරාගී වූ සිත් ඇත්තේ එය වින්දනය කරයි. එහි බැස නොගත්තේ සිටියි.
යම් සේ ධර්මය විජානනය කරන, වේදනාව සේවනය කරන ඔහුගේ (වේදනාවෝ) ක්ෂය වෙත් ද, රැස් නොවෙත් ද, මෙසේ හෙතෙම සිහියෙන් යුක්ත ව හැසිරෙයි. මෙසේ (දුක) ක්ෂය කරන්නහුට නිවන සමීප යයි කියනු ලැබේ.
මෙසේ ආයුෂ්මත් මාලුංක්‍යපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
මාලුංක්‍යපුත්‍ර ස්ථවිර ගාථා.