20. 1. 4.
වස්ත්‍රාභරණාදියෙන් විසිතුරු කරනලද නවමුඛයකින් අසූචි වැගිරෙන තුන්සීයක් ඇට කෝටු ඇති නිතර ගිලන් ස්වභාවයෙන් යුක්තවූ බාල ජනයන් විසින් වරදවා කල්පනා කරන ස්ථිර භාවයක් නැති බිඳෙන ස්වභාවයෙන් යුක්තවූ මේ ශරීරය බලව.
මාණික්‍යාදි ආභරණ විශේෂයන්ගෙන් විසිතුරු කරන ලද්දාවූද ඇට සහ සමෙනුත් යුක්තවූද වස්ත්රයන්ගෙන් ශොභා සම්පන්න මේ ශරීරය බලව.
ලාකඩ වතුර රැඳවූ විලේපනවලින් ඔපකරන ලද මුඛයක් ඇති මේ ශරීරය අඥාන පුද්ගලයාගේ මුලාවට හේතු වෙයි. නිවන් සොයන්නහුට මුලාවට කාරණයක් නොවේ.
අෂ්ටපදාකාරයෙන් කරනලද කෙස් ඇත්තාවූද, අඳුන් තැවරූ ඇස් ඇත්තාවූද මේ ශරීරය අඥානයාගේ මුලාවට හේතුයි. නිවන් සොයන්නහුගේ මුලාවට හේතුවක් නොවේ.
අලංකාර කරනලද මේ කුණු කය මාලාකර්ම දන්තාදියෙන් විසිතුරුය. ඒ බාලයාගේ මුලාවට හේතුවක් වෙයි.
වැද්දා මුවා මැරීමට උගුල අටවා කෑම දමාතැබුවේද, දක්ෂ මුවෙක්වූ මම මිගබන්ධකයන් හඬද්දී පලාගියෙමි.
වැද්දාගේ පාසය සිඳ දමනලදී. රන් රුවන්ද, ස්ත්‍රී සමූහයාද නමැති ඒ පාසයට අසුනොවීමි. පාසය ළඟ තැබූ කෑම පමණක් ගෙන මිගලුද්දකයන් හඬද්දීම ගියෙමි.
ලෝකයෙහි මෝහයෙන් ධන රැස්කොට අනුන්ට නොදෙන්නාවූ ධනවත් මනුෂ්‍යයන් දැක්කෙමි. ඔව්හු ධන රැස්කොට බොහෝ සෙයින් කාම සැප පතන්නාහුය.
රජවරුද වංශානුගත පෘථිවිය ජයගෙණ සාගරය කෙළවරකොට ලැබුවත් එයින් සෑහීමකට නොපැමිණ මුහුදෙන් එතර රටවල්ද බලාපොරොත්තු වෙති.
රජවරුද අවශෙෂ මනුෂ්‍යයෝද තෘෂ්ණා දුරු නොකොට මරණයට පැමිණෙත්. සම්පූර්ණ නොවූ සිත් ඇත්තෝව ශරීරය හැර දමත්. ලෝකයෙහි කාමවස්තූන් පිළිබඳ තෘප්තියක් නැත්තේය.
නෑදෑයෝ මළ පුරුෂයා උදෙසා කෙස් කඩාදා හඬත්. අපේ නෑයා දෙවිවන්නේද කියත්. වස්ත්‍රයෙන් ඔතා චිතකය කරා ගෙණ ගොස් දමත්.
ඒ මළ සත්වයා දවන්නවුන් විසින් හුල්වලින් ඇණ දවන්නාහුය. භොගයන් සියල්ල වෙනුවට එක් වස්ත්‍රයක් ඇතිව දවනුලබන්නාවූ ඔහුගේ ආරක්ෂාවට ඤාති මිත්‍රාදි කිසිවෙක් නැත්තාහ.
ඔහුගේ ධනය උරුමක්කාරයෝ ගනිත්. ඒ සත්වයා කර්මය අනුව ගියේය. අඹුදරුවෝද, ධනයද, රටද යන කිසිවක් මැරෙණ පුද්ගලයා අනුව නොයයි.
ධනය නිසා දීර්ඝායුෂ නොලබයි. ජරාවද, නොවලක්වයි. අස්ථිරවූද වෙනස්වන ස්වභාව ඇත්තාවූද, ජීවිතය ප්‍රාඥයෝ ස්වල්ප දෙයක්කොට සලකති.
ධනවන්තයෝද, දිළින්දෝද, ඉෂ්ටානිෂ්ට ස්පර්ශයන් ලබත්. බාලයෝද, ඥණවන්තයෝද, එසේම ලබත්. බාලයෝ වනාහි බාල්යතාවය නිසා පීඩාවෙන් වෙසෙත්. පණ්ඩිතයෝ ඉෂ්ටානිෂ්ට දෙකෙහි කම්පා නොවෙත්.
ඒ නිසා ධනයට වඩා ප්‍රඥාව ශ්‍රේෂ්ඨයි. ප්‍රඥාවෙන් භවය කෙළවර කරයි. අවසාන නිෂ්ටාව නොලැබුවාහු ලොකු කුඩා භවයන්හි මෝහයෙන් පව්කම් කරත්.
එසේ පව්කම්කොට සසරට වැද ගර්භසෙය්යාව හා ලෝකෝත්පත්තිය යන දෙකින් නොමිදෙත්. අඥානවූ පුද්ගලයා පරලොවද ගර්භසෙය්යාවද ආදී දුක් ලබයි.
ආරක්ෂක පුරුෂයන් විසින් ගනු ලබන සොරෙක් රාජපුරුෂයන් විසින් බඳිනලදුව කසවලින් තලමින් වෙහෙසට පත්කරත්ද, එසේම පාප ධර්මයන්ගෙන් යුක්තවුනාවූ සත්වයෝ පරලොවදී වෙහෙසට පැමිණෙත්.
කාමයෝ වනාහි විචිත්‍රය, මධුරය, මනෝරම්‍යය, අනේකවිධ ස්වරූපයෙන් සිත නොමගට ගෙණ පෙළත්. මේ දෝෂයෝ කාම වස්තුවල ඇති බව දැන මහරජ මම පැවිදිබවට පත්වූවෙමි.
පැසුනාවූද, නොපැසුනාවූද, ගෙඩි වැටෙත්. එසේම බාලයෝද, වෘද්ධයෝද, ශරීර භෙදයෙන් මරණයට පත්වෙත්. මේ බවද දැක මහරජ මම පැවිදිබවට පත්වූවෙමි. අවිරුද්ධ ශ්‍රමණ භාවයම ශ්‍රේෂ්ඨයි.
මම ශ්‍රද්ධාවෙන් බුදුන්ගේ ශාසනයෙහි පැවිදිබව ලැබූයේ මගේ පැවිද්ද හිස්නොවීය. රහත්බැව් ලබනලද බැවින් හිස්නොවීය. කෙලෙස් නැතිව ස්වාමිභාවයෙන් ප්‍රත්‍යය පරිභොග කරමි.
වස්තුකාම, ක්ලේශ කාමයන් එකොළොස් ගින්නකින් ඇවිලෙනබව දැක කළ නොකළ සියලුම රන් රිදී රත්න විශේෂයෝ අනර්ථ පිණිස පවතින බවද සියලු සසර පැවැත්ම දුකක් බවද නරකයන්හි මහත් භය ඇති බවද නුවණින් දුටුවෙමි.
මේ ආදීනව දැන සංවේගය ලදිමි. ගිහි අවස්ථාවෙහි රාගාදී හුල්වලින් විදිනාලදුව පැවිදිබවට පැමිණ කෙලෙස් ශාන්තබවට පැමිණියෙමි.
මා විසින් ශාස්තෲන් වහන්සේ අසුරු කරණලදී. බුදුන්ගේ අනුශාසනාවට අනුව කටයුතු කෙළෙමි. ගරුභාරය බහාතැබීමි. ගවයාගේ කෙළවරද බිඳ දැමූවෙමි.
යම් අර්ථයක් නිසා ගිහිගෙයින් නොගිහි බැව් නම්වූ ප්‍රව්‍රජ්‍යාවට පැමිණියෙම්ද, සියලු සංයෝජනයන් නසා මා විසින් ඒ අර්ථය සිද්ධකරනලදී.
මෙසේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
රට්ඨපාල ථෙර ගාථා.