20. 1. 3.
බොහෝ කාලයක් මුළුල්ලෙහි වීර්යවන්තව ධර්මය සොයමින් ඇවිද්දෙමි. නොයෙක් මහණ බමුණන්ගෙන් විචාළේ නමුදු සිත සංසිඳුවන ආර්ය ධර්මය නොලදිමි.
ලෝකයෙහි කවරෙක් පරතෙරට ගියාහුද නිවනට පැමිණියාහු කවරහුද, උත්තම අර්ථය දන්නාහු කවරහුද කියා සෙව්වෙමි.
හෘදයගත කෙලෙස් ඇදයෙන් යුක්තවූවෙමි. කෙසේද, ඇමක් ගිලින මත්ස්‍යයෙක් මෙන් දුකට පත්වීමි. ශක්‍රයාගේ පාසයෙන් වේපචිත්ති අසුරෙන්ද්රයා මෙන් දුකට පත්වීමි.
පාසගත මුවෙක් මිදීමට නොදන්නේ ඇදීමෙන් බන්ධනය තදකරගණීද එසේම මමද ක්ලේශ බන්ධනයෙන් මිදිය නොහැකිව කවරෙක් මට මිදීමේ උපාය කියන්නේදැයි සෙවීමි.
කෙලෙස් බිඳ හරින්නාවූ ධර්මය ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කවරහුද ජරාමරණ නැතිකරන කවර ධර්මයක් පිළිපදිමුද කියායි.
විචිකිච්ඡා නම්වූ සැකයෙන් බැඳුනාවූද එකට එක කිරීමෙන් යුක්තවුනාවූද ක්රොධමානයෙන් තද බවට පැමිණියාහුද කැමති සේ ලැබීමේ අපේක්ෂාවෙන් තෘෂ්ණාවෙන් යුක්ත වුනාවූද,
පපුවෙහි දැඩිකොට ඇති පවත්නා තණ්හා හුලද තිසක් පමණවූ ප්‍රභෙදගත දෘෂ්ටි හුල්ද බලව.
ප්‍රහීණ නොවූ ආත්ම දෘෂ්ටියද උත්සාහවත් කරණ ලද මිථ්‍යා සංකල්පනාවෝද නිසා සුළඟින් වැනෙන කොළ මෙන් කම්පාවෙන් පවතී.
ආත්ම භාවයෙහිම හටගෙණ සීඝ්රතරව දරාද සයාකාර ස්පර්ශ අරමුණු කෙරෙහි සෑම කල්හිම පවතී.
නානාප්‍රකාර ආයුධ යොදා මන්ත්‍ර ප්‍රයෝගයකින් හෝ මාගේ ශරීරගත කෙලෙස් හුල් උදුරාදමා පිළියම් කිරීමට හැකි වෛද්‍යවරයෙක් නොදැක්කෙමි.
ආයුධ නොයොදා තුවාලද නොකොට පීඩාවකුත් නොමකොට ශරීරාභ්‍යන්තරයෙහි පවත්නා මේ හුල් උදුරා දැමීමට හැකි පුද්ගලයා කවරෙක්ද?
රාගාදී කෙලෙස් සුංකරන්නාවූ යම්කිසි ධර්ම නිමිත්තක්වේද, එයම ශ්‍රේෂ්ඨයි. ගැඹුරුවූ සංසාර මහොඝයෙහි පතිතවූ මට නිර්වාණ කාලය පෙන්නුම් කරන්නේද ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨයි.
යම්බඳුවූ ගිහිගේ නම් මඩින් යුක්තවූ ජලාශයක්වේද, එහි පතිතව මායාව, ඊර්ෂ්‍යාව, එකට එක කිරීම ථිනමිද්ධය යන මෙයින් යුත්තව විසීම.
උද්ධච්ච නැමැති වැසි ධාරාවෙන් හා සංයෝජන නැමැති වලාවෙන් යුක්තව රාග නිශ්රිත සංකල්පනා නැමැති දියපාර ඇතිව අපාය නැමැති සමුද්‍රයට අදිමින් සිටියෙමි.
තණ්හා සොත දෘෂ්ටි සොතාදි ලතාවෙන් වැළඳ ගන්නාලද්දේද ඒ ලතාව කවරෙක් සිඳ දමන්නේද?
දියපහරින් වැළැක්වීමට ඒදණ්ඩක් කළ යුතුයි. තොපගේ මනෝමයවූ තෘෂ්ණා දියපහරින් ගං ඉවුරෙක පිහිටි ගසක් ඉදිරී වැටෙන්නාක් මෙන් ඇද වැටේ.
මෙසේ සසර හටගත් භය ඇති මට ඒ භයින් මිදීමට නිවන සොයන්නේ ආරක්ෂා ස්ථානය වශයෙන් ප්‍රඥා යුධය ඇති ආර්ය සංඝයා විසින් පිරිවරණලද ශාස්තෲන් වහන්සේ හේතුවිය.
මනාකොට කරන ලද්දාවූද උප ක්ලේශ විරහිතවූද ශ්‍රද්ධා ප්‍රඥාදී සාරයෙන් යුත්වූද මේ විදර්ශනා නැමැති හිණිමග ගසාගෙණ යනු ලබන මට ශාස්තෲන් වහන්සේ දුන්සේක. භය නොවේයයි කීහ.
සතිපට්ඨානය නැමැති ප්‍රාසාදයට නැගී චතුරාර්ය සත්‍යය මාර්ගඥානයෙන් ප්‍රතිවෙධ කෙළෙමි. එසේ කළ මට මමය මාගේයයි යන දෘෂ්ටිගත් තීර්ථකාදී පිරිස පහත්කොට සිතුවෙමි.
ආර්ය මාර්ග නැමැති නැවට නැගීමේ උපාය වශයෙන් විදර්ශනා මාර්ගය දැක්කෙමි. ඒ සියලු මාර්ගයන්ට වඩා උත්තම මාර්ගය හැටියට දැක්කෙමි.
මමය මාගේය යන තෘෂ්ණා හුල්වෙත්ද ඒ පාප ධර්මයන්ගේ නොපැවැත්මට ශ්‍රේෂ්ඨ ආර්ය මාර්ගය දෙසූසේක.
බොහෝ කාලයක් සන්තානගතව සයනය කරන ලද ක්ලේශ දෝෂයෝ බුදුන්ගේ දේශනානුභාවයෙන් ඉතුරු නොකොට ප්‍රහීණ කෙළෙමි.
මෙසේ ආයුෂ්මත් තෙලකානි තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
තෙලකානි ථෙර ගාථා.