20. 1. 2.
කාය විවේකයෙන් හා චිත්ත විවේකයෙන් යුක්තව ධ්‍යාන කරන්නාවූ පරාසර ගොත්‍රයෙහි උපන්නාවූ භික්ෂුවට ධර්ම චින්තාවක් විය.
පුරුෂයා පළමුකොට කුමක් කළයුතුද කවර ශීලයක් අනුව හැසිරිය යුතුද තමහට කෘත්‍ය පිණිස පවතින කටයුතු කරන පුද්ගලයා අනුන්ට වෙහෙසීමක් නොකළ යුතුය.
මිනිසුන්ට ඉන්ද්‍රියයෝ හිත පිණිසද අහිත පිණිසද වෙත්. නොරක්නා ලද ඉඳුරෝ අහිත පිණිසත්, රක්නා ලද ඉඳුරෝ හිත පිණිසත් පවතී.
සිහියෙන් යුක්තව ආරක්ෂා කරන ඉන්ද්‍රියයෝ වෙත්ද, තමහට යහපත පිණිසම පවතී. අන්කිසිවෙකුට වෙහෙසක් පිණිස නොපවතී.
රූපයන් කරා යනු ලබන ඇස නමැති ඉන්ද්‍රිය නොවලක්කා ලබන්නාවූද ආදීනව නොදක්නාවූද හෙතෙම දුකින් නොමිදේ,
ශබ්ද අරමුණු කරා ගමන් කරන්නාවූ කණ නමැති ඉන්ද්‍රිය නොවලක්නාවූද ආදීනව නොදක්නාවූද හෙතෙම දුකින් නොමිදේ.
ආදීනව නොදැකීමෙන් සුවඳ සේවනය කෙරේද, සුවඳෙහි මුසපත්වූ ඒ පුද්ගලයා දුකින් නොමිදේ.
ඇඹුල් මිහිරි තිත්ත ආදී රසයන් පිළිබඳ මෙනෙහි කරනුයේ රස තෘෂ්ණාවෙන් බැඳුනාහූ දුක් කෙළවර කෙරෙමියි අදහසක් නොසිතයි.
සුන්දරවූද මනොරම්‍යවූද ස්පර්ශ සිහිපත් කරනුයේ රාගයෙන් රත්වූයේ නානා ප්‍රකාර දුක් ලබයි.
කියනලද පස්වැදෑරුම් ධර්මයන්ගෙන් හා ධර්මාරම්මණයන්ගෙනුත් හිත ගැටීමට යමෙකුට නොහැකිවූයේ නම් ඒ සෑම අරමුණකින්ම ඔහුට දුක් ඇතිවෙයි.
ලේ සැරවින් පිරුණාවූද කුණපයන්ගෙන් පිරුණාවූද කරනලද සිතියමක් මෙන් ඔපමට්ටම්වූ මේ ශරීරය බාල ජනයන් විසින් මුලාවෙන් ගනී.
කටුක දුක්වලට හේතුවන්නාවූද මිහිරි බවක් පෙන්නුම් කරන්නාවූද එහෙයින්ම ප්‍රිය භාවයෙන් බැඳෙන්නාවූද මේ ශරීරයෙහි ගිජු බව සිතාගත් පුද්ගලයා දැලි පිහි මූණත ලෙවකන්නකුමෙන් සැපයක් නොවිඳ දුකටම පත්වෙයි.
ස්ත්‍රී රූපයෙහිද ස්ත්‍රී ස්වරයෙහිද ස්ත්‍රී ගන්ධයෙහිද ඇලුනාවූ විවිධ දුක් විඳිති.
ස්ත්‍රියගෙන් වැගිරෙන්නාවූ තෘෂ්ණා දියපහරවල් පුරුෂයාගේ පංචද්වාරයෙහිම පවතී. ඒ සංවරණය කරන්ට හැකි පුද්ගලයෙක්වේ නම් ඔහු වීර්යවන්තයෙකි.
යමෙක් පංචකාම රතියෙහි ඇලුනේවේද අර්ථයත් ධර්මයත් නොහැර ස්වකීය කටයුතු කෙරේ නම් හෙතෙම මේ ලෝකයෙහි අර්ථයෙන් යුක්තවූද ධර්මයෙන් යුක්තවූද දක්ෂයෙක් හා විචක්ෂණ පුද්ගලයෙක් වෙයි.
යම්කිසිවෙක් මෙලොව අර්ථය පමණක් ගෙණ පරලොව හැරදමා නම් ඒ කෘත්‍යය හැරදමන්නාවූ පුද්ගලයා අප්‍රමාදී විචක්ෂණ පුද්ගලයෙක් නොවෙයි.
යමක් අර්ථයෙන් යුක්ත නම් ධර්මයෙනුත් යුක්ත නම් එය මනාකොට කරව්. හේ උත්තම රතිය නම් වේ.
නොයෙක් ආකාර උපායයන්ගෙන් අනුන් සන්තකදේ ගැණීමට කැමැතිවේද, මරා හෝ සැහැසිකම් කොට හෝ ශෝකයට පමුණුවා ගනු ලබන දෙයින් රතියක් ඇති නොවෙයි.
කාය බලාදියෙන් යුක්තවූ වඩු තෙමේ ලොකු ඇණය ගසා කුඩා ඇණය ගලවද්ද, එසේම දක්ෂවූ භික්ෂුව චක්ෂුරාදී ඉන්ද්‍රියයන් විදර්ශනා බලයෙන් දමනය කරයි.