20. 1. 1.
යාග හෝමාදිය පිණිස ධන පැහැර ගැනීම් පිණිස හෝ අපි මට පළමුවෙන් යමෙක් නැසුවාහු නම් ඒ සියල්ලෝම බියපත් වූවාහුය. එසේම වෙවුළුවාහුය. එසේම වැලපුනාහුය.
ඔබවහන්සේට භයකුත් නැත්තේය. ඔබවහන්සේගේ ශරීර වර්ණයද පැහැපත් විය. මෙබඳුවූ භයට හේතුවූ අවස්ථාවෙහි කුමක් හෙයින් නොහඬනාහුද?
තෘෂ්ණාවෙන් ඇතිකරන අපේක්ෂාව නැති බැවින් සිත පිළිබඳ දුකක් නැත්තේය. සංයෝජන ධර්මයන් ක්ෂය කළාවූ මම සියලු භය නැති කෙළෙමි.
තත්වූ පරිද්දෙන් චතුස්සත්යාවබොධ කොට භවයාගේ කෙළවර සිඳදමන ලද බැවින් බර බහා තැබීම කළ මරණයෙහි භයක් නැත.
ශාසන බ්රහ්මචරියාවද පුරුදු කෙළෙමි. ආර්ය මාර්ගයද මනාකොට වැඩුවෙමි. රොගයකින් සුවවූවෙකුට මෙන් මට මරණයෙහි භයක් නැත.
මා විසින් ශාසන බ්රහ්මචරියාව පුරුදු කරණ ලදී. ආර්ය මාර්ගයද මනාකොට වැඩුවෙමි. භවයාගේ නිසරුකමද දැක්කෙමි. ප්රයෝගයකින් හරණා ජීවිතයක් මෙන් මරණයෙහි භයක් නැත.
මරණයෙන් නිදහස ලැබූ සොරෙකු මෙන් සසරින් එතරට පැමිණියාවූද කොට නිමවන ලද කටයුතු ඇත්තාවූද කිසිවක් තෘෂ්ණා දෘෂ්ටි දෙකින් නොගන්නාවූද කෙලෙස් නැත්තාවූද මම ආයුෂයාගේ කෙළවර වන මරණය සතුටින් බලාපොරොත්තු වෙමි.
ධර්ම ස්වභාවය දැකීමෙන් අර්හත්වයට පැමිණියාවූද සියලු ලෝකයෙහි අපේක්ෂාව දුරුකළාවූද මම ගිනිගත් ගෙයකින් පිටවූවෙකුමෙන් මරණයෙහි ශෝක නොකරමි.
ලෝකයෙහි ප්රත්යයෙන් උපන් යම්කිසිවක් වේද සත්ව නිකායයන්හි ලබන උත්පත්ති භාවයකුත් වේද, ඒ සියල්ලම ප්රධාන බවට හේතු නොවන බව මහර්ෂීවූ බුදුන් විසින් කියන ලද බැවින් මරණයෙහි ශොක නොකරමි.
යම් කිසිවෙකු විසින් බුදුන් දේශනා කරනලද ධර්මය එපරිද්දෙන්ම දනී නම් ගිනි ගත් ලෝගුලියක් අතින් නොගන්නාක්මෙන් කිසි භවයක් නොගනී.
අතීතයෙහි මම මෙයාකාරයෙන් සිටියේයයි කියාද, අනාගතයෙහි මෙබන්දෙක් වන්නෙමියි කියාද අදහස් නොකරමි. ප්රත්ය බලයෙන් පවත්නාවූ සංස්කාරයෝ විනාශයට පැමිණෙත්. මෙසේ දක්නාවූ මට කවර හැඬීමක්ද?
ආත්ම සාරයෙන් තොරවූද, ප්රත්යයෙන් හටගත්තා වූද, ක්ලෙශාදී වශයෙන් බැඳී පවත්නාවූද, සංස්කාර තත්ත්වය තත්වූ පරිදි දක්නාවූ මට භයක් නැත්තේය.
තණ හා දර අනිකෙකු විසින් ගනු ලබන කල්හි මා පිළිබඳ දෙයක් ගන්නේයයි අදහස් නොවේද, එසේම තණ හා දර සමවූ ලෝකය ප්රඥාවෙන් දකීනම් කිසිවකට මමත්වයක් නොකරයි. මේ දේ මට තිබී නැතිවීයයි. ශොක නොකරයි.
ශරීරය කෙරෙහි කලකිරුනෙමි. භවයෙන්ද මට ප්රයෝජනයක් නැත. මේ ශරීරයද බිඳෙයි. මට අනික් කයක් මත්තෙහි ඇති නොවෙයි.
මේ ශරීරයෙන් තොපට යමක් කැමැත්තාහුද ඒ කරව්. කරන කල්හිත් නොකරන කල්හිත් මට අනුකූල බව හෝ ක්රෝධය යන දෙකම ඇති නොවේ.
ඒ අධිමුත්ත ස්ථවිරයන්ගේ අද්භූතවුද, රෝමෝද් ගතවූද, වචන අසා ඒ හොරු ආයුධ බිමහෙලා උන්වහන්සේට මෙසේ සැළ කළහ.
පිංවතුන් වහන්ස, කවර ආචාර්ය වරයෙකුගේ අවවාදයක් නිසා කෙබඳු තපස් කිරීමක් කොට කවරකුගේ ශාසනයකට පැමිණ මරණ අවස්ථාවෙහි ශෝක නොකිරීම ඔබවහන්සේ විසින් ලබන ලදද?
සියල්ල දක්නාවූද, සියල්ල දන්නාවූද, ජයගත්තා වූද, මහා කාරුණිකවුද, කෙලෙස් රෝගයන්ට පිළියම් කරන්නාවූද, බුදුන් වන්සේ මාගේ ශාස්තෘවරයාණෝය.
නිරුත්තරවූද නිර්වාණගාමීවූද ධර්මය ඒ බුදුන් වහන්සේ විසින් දේශනා කරණ ලදී. උන්වහන්සේගේ ශාසනයට පැමිණ ශොක නොකරන බැව් ලැබ ගතිමි.
චෞරයෝ ඒ අධිමුත්තක ස්ථවිරයන්ගේ යහපත් වචන අසා ආයුධාදිය බිම දමා සමහර කෙනෙක් ඒ සොරකම් කිරීමෙන් වැළකුණාහුය. සමහරෙක් ප්රව්රජ්යාව ලැබ ගත්තාහුය.
බුදු සස්නෙහි පැවිදි බව ලැබූ ඔවුහු බොජ්ඣංග ධර්ම වඩා ප්රීතියෙන් යුක්ත සිත් ඇතිව සොම්නසට පැමිණ අසංඛත නම්වූ නිර්වාණ පදය ලැබුවාහුය.
මෙසේ ආයුෂ්මත් අධිමුත්ත තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
අධිමුත්ත ථෙර ගාථා.
20. 1. 2.
කාය විවේකයෙන් හා චිත්ත විවේකයෙන් යුක්තව ධ්යාන කරන්නාවූ පරාසර ගොත්රයෙහි උපන්නාවූ භික්ෂුවට ධර්ම චින්තාවක් විය.
පුරුෂයා පළමුකොට කුමක් කළයුතුද කවර ශීලයක් අනුව හැසිරිය යුතුද තමහට කෘත්ය පිණිස පවතින කටයුතු කරන පුද්ගලයා අනුන්ට වෙහෙසීමක් නොකළ යුතුය.
මිනිසුන්ට ඉන්ද්රියයෝ හිත පිණිසද අහිත පිණිසද වෙත්. නොරක්නා ලද ඉඳුරෝ අහිත පිණිසත්, රක්නා ලද ඉඳුරෝ හිත පිණිසත් පවතී.
සිහියෙන් යුක්තව ආරක්ෂා කරන ඉන්ද්රියයෝ වෙත්ද, තමහට යහපත පිණිසම පවතී. අන්කිසිවෙකුට වෙහෙසක් පිණිස නොපවතී.
රූපයන් කරා යනු ලබන ඇස නමැති ඉන්ද්රිය නොවලක්කා ලබන්නාවූද ආදීනව නොදක්නාවූද හෙතෙම දුකින් නොමිදේ,