10. 1. 2.
537. “තනිව වනයෙහි වසන්නා ඉදිරිපිට හා පසුපාර්ශවයෙහි අනිකෙක් නොමැති බැවින් බොහෝවූ චිත්ත සුඛයක් (සතුටක්) ඇතිව වෙසෙයි.
538. “බුදුන් විසින් වර්ණනා කරනලද වනයට මම තනිව යමි. නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති තනිවූ භික්ෂුවට සැප විහරණයක් ඇතිවිය.
539. “යෝගීන්ට ප්රීතිකරවූද, රම්යවූද මත් ඇතුන් හැසිරෙන්නාවූද, වනයක් වේ නම් ශ්‍රමණ ධර්මය පිණිස එහි වහා පිවිසෙමි.
540. “මනාකොට පිපියාවූ ගස් ඇති කඳු අතර සිහිල් ජලය ඇති ස්ථානයන්හි ස්නානයකොට හුදකලාව හැසිරෙමි.
541. “සහායවූ දෙවැන්නෙක් නැතුව රමණීය මහවනයෙහි ආශ්‍රව රහිතව කරණලද කිස ඇතුව මම කවදා වසම්ද?
542. “අරණ්‍යගතව භාවනා කරන්නහුට අදහස් සම්පූර්ණ වේද, මම ඒ අදහස මුල්කොට කටයුතු කරමි. අනිකෙකුට කරන අනිකෙක් නැත්තේය.
543. “ඒ මම වීර්යය නම්වූ සන්නාහය බඳිමි. වනයට පිවිසියෙමි. ආශ්‍රව දුරුනොකොට ඒ වනයෙන් නොනික්මෙන්නෙමි.
544. “සිහිල් වාතය හා සුවඳ හමන්නාවූ වනයෙහි වෙසෙමින් එහිම හුන්නේ අවිද්‍යාව නසමි.
545. “මලින් ගැවසීගත්තාවූද, සිහිල් පර්වත ඇත්තාවූද, පර්වත වලින් වටකරන ලද්දාවූද, වනයෙහි විමුක්ති සැපයෙන් වෙසෙමි.
546. “ඒ මම සම්පූර්ණ චන්ද්‍රයා මෙන් පරිපූර්ණ චිත්ත සංකල්පනා ඇතිව සියලු කෙලෙසුන් නසා සැපසේ වෙසෙමි. මට නැවත ඉපදීමක් නැත්තේය.”
මෙසේ ආයුෂ්මත් එකවිහාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
එකවිහාරිය ථේර ගාථා.
10. 1. 3.
547. “යමෙක් තමා කරා නොපැමිණි හිත අහිත යන දෙක පළමුකොට දකීද, ඕහට අමිත්‍රයෝ හා මිත්‍රයෝ දොස් සොයන්නවුන් මෙන් දකී. එබඳු පුද්ගලයා නිවැරදි පුද්ගලයෙකි.
548. “යමෙකුට ආනාපානසති භාවනාව පරිපූර්ණද මනාකොට වඩන ලදද, බුදුන් විසින් දේශනා කරනලද ඒ භාවනාව පිළිවෙළින් පුරුදුකරන ලද්දේද, ඒ යෝගාවචර තෙම උපක්ලේශ රහිත චන්ද්‍රයා මෙන් ලෝකය බබුලුවයි.
549. “මාගේ සිත නීවරණ නමැති මල නැතිවීමෙන් පිරිසිදුය. අප්‍රමාණ නීවරණ ධර්ම ප්රත්යක්ෂ කෙළෙමි. සියලු කෙලෙසුන් නැසුවෙමි. සියලු දිසාවන් බබුලුවන්නෙමි.
550. “වස්තුව නැතිකල්හිද ප්‍රඥාව ඇති පුද්ගලයා නිරවද්‍ය වූ ජීවිකාවෙන් සන්තොෂවේ. වස්තුව ඇතිකල්හිද ප්‍රඥාව නැති පුද්ගලයා සැපවත් ජීවිතයක් නොලබයි.
551. “ඇසුනාවූ කරුණු විනිශ්චය කරන යම් ප්‍රඥාවක් වේද, කීර්ති ප්‍රශංසා ලබන ප්රඥාවකුත්වේද; ඒ ප්‍රඥාවන්ගෙන් යුක්තවූ පුද්ගලයා ඒකාන්ත දුක් ඇති ස්කන්ධාදියෙන් යුක්තවුවද සම්‍යක් ප්‍රතිපත්තිය නිසා සැප ලබයි.
552. “සත්වයින්ගේ දිරීම මැරීම් ආදී ස්වභාව ධර්මයක් වේද, එය අළුත් දෙයක් නොවේ. ආශ්චර්ය අද්භූත දෙයක්ද නොවේ. ඒ කුමක් නිසා අද්භූත වන්නේද
553. “උපන්නාවූ තැනැත්තාට ජීවිතයට අනතුරුව මරණය ඒකාන්තයි. මෙහි උපදින උපදිනු ලබන්නාහු මරණයට පැමිණෙති. සත්වයින්ට මේ ධර්මය ඒකාන්තයි.
554. “යම්බඳුවූ අනුන්ගේ ජීවිත මළහුගේ ප්‍රයෝජනයට නොපැමිණෙයි. මැරුණු කල්හි ඇසීමෙන් ප්‍රයෝජනයක් නොවේ. එයින් මළ තැනැත්තා යස එෛශ්චර්ය සම්පත්තියක්ද නොලබයි. එමනිසා මහණ බමුණෝ ඇඬීම් ආදිය හොඳයයි වර්ණනා නොකරති.
555. “අඬන්නාවූ පුද්ගලයාගේ ඇස් හා ශරීරය වෙහෙසට පැමිණෙයි. ශරීර වර්ණය හා බලයද, ප්‍රඥාවද පිරිහෙයි. විරුද්ධකාරයෝ සතුටු වෙති. හිතෛෂීහු දුකට පත්වෙති. ඔහුට ඒ කිසිවකින් සැපතක් සිදුනොවෙයි.
556. “එම නිසා කුලයෙහි වසන බහුශ්‍රැත ඤාණවන්ත පුද්ගලයා මහොඝයෙන් (ජලය අධික වීමෙන්) පිරුණාවූ නදියෙහි නැවත තරණය කරන්නාක්මෙන් ප්‍රඥාවෙන් තමාගේ කටයුතු කිරීමට කැමැති වෙයි.”
මෙසේ ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
මහාකප්පින ථේර ගාථා.
10. 1. 4.
557. “මෝඩ ගතිය නිසා මම මුල් අවස්ථාවෙහි නින්දා ලැබුවෙමි. තොප ගෙදර යව කියා සහෝදරයාද පිටමන් කෙළේය.
558. “සහෝදරයා විසින් පිටමන් කරණලද ඒ මම සංඝාරාම දොරකඩ සමීපයෙහි දොම්නසින් ශාසන අපෙක්ෂාව ඇතුව සිටියෙමි.
559. “එකල්හි භාග්‍යවතුන් වහන්සේ මා කරා පැමිණි සේක. මගේ හිසද උන්වහන්සේ විසින් පිරිමදිනලදී. අතින් අල්ලා මා රැගෙන සංඝාරාමයට පිවිසිසේක.
560. “මට ශාස්තෲන් වහන්සේ අනුකම්පාකොට රෙදි කැබෙල්ලක් දුන්සේක. එකත්පස්ව සිට මෙහි පිරිසිදුකම අධිෂ්ඨාන කරව්.
561. “මම උන්වහන්සේගේ වචනය අසා ශාසනයෙහි ඇල්ම ඇත්තෙක්ව උත්තමාර්ථය පිණිස පවතින සමාධිය ඉපදවීමි.
562. “පෙර විසූ කඳ පිළිවෙළ දැනගතිමි. දිවැස පිරිසිදු කෙළෙමි. ත්‍රිවිද්‍යාව ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද සම්පූර්ණ කෙළෙමි.