1. 9. 8.
88. “මහත් දිය වතුරෙක්හි පා කොට ගෙනයනු ලබන්නකු වැනිවූ මම සසර නැමැති දියවරින් නිවන් නමැති ගොඩබිමට තමා නගා ගන්නට හැකි වීමි. විස්මයෙකි, මම සතර සත්යයන් දැන ගතිමි.”
ඉත්ථං සුදං ආයස්මා අජ්ජුන තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
අජ්ජුන ථේර ගාථා
1. 9. 9.
89. “කාම රාග නමැති ප්රකෘති මඩද අඹුසැමි ආදීන් විෂයෙහි පවත්නා බලවත් රාග නමැති ගෝරු මඩද මා විසින් එතෙර කරන ලද්දාහ. දෙසැට දෘෂ්ටි නමැති පාතාලයෝ දුරුකරන ලද්දාහ. කාමාදී සතර සැඩ වතුරෙන්ද අභිජ්ඣාදි සතර ගැටවලින්ද මිදුනෙමි. නවවිධ මානයෝ වෙසෙසින් නසාපියන ලදහ.”
ඉත්ථං සුදං ආයස්මා දෙවසභ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
දෙවසභ ථේර ගාථා
1. 9. 10.
90. “මා විසින් පංචස්කන්ධයෝ ලක්ෂණ රසාදි වශයෙන්ද අනිත්යාදි වශයෙන්ද පිරිසිඳ දන්නා ලදහ. (ඔවුහු) සිඳීගිය තෘෂ්ණා නමැති මුල් ඇත්තාහු සිටිනාහ. ජාතිදුක් මුල්කොට පවත්නා සසර වෙසෙසින් ක්ෂය කරන ලද්දේය. දැන් මතු බවෙහි ඉපදීමෙක් මට නැත්තේයි.”
ඉත්ථං සුදං ආයස්මා සාමිදත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සාමිදත්ත ථේර ගාථා
නවම වග්ගයයි.
එහි උද්දානය:
සමිතිගුත්ත තෙරණුවෝද, කස්සප ද, සීහ නම් තෙරණුවෝද, නීත ද, සුනාග ද, නාගිත ද, පවිට්ඨ ද, ඉසි අජ්ජුන ද, දෙවසභ තෙරණුවෝ ද, මහත් බල ඇති සාමිදත්ත ද (වෙත්).
දසම වග්ගය.
1. 10. 1.
91. “සියල්ල දක්නාසුලුවූ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකරන ලද යම් නිර්වාණ ධර්මයක් වේද, මෙකල මා විසින් යම් නිවන් රසයෙක් වළඳන ලද්දේද රාජ කාලයෙහි වැළඳූ සතරස භෝජනය හෝ දිව්යාත්මභාවයෙහි වැළඳූ දිව්යාහාරය හෝ එසේ සම්භාවිත වූයේ නොවන්නේය.”
ඉත්ථං සුදං ආයස්මා පරිපුණ්ණක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
පරිපුණ්ණක ථේර ගාථා
1. 10. 2.
92. “යම් උත්තම පුද්ගලයෙකුගේ කාමාදී ආශ්රවයෝ හාත්පසින් ගෙවී ගියාහුද යමෙක් ආහාර විෂයෙහි තෘෂ්ණා දෘෂ්ටි නිශ්රය නැත්තේ වේද, ශුන්යතා විමොක්ෂ නම් වූද, අනිමිත්ත විමොක්ෂ නම්වූද නිර්වාණය යමක්හුගේ විෂය වේද, අහස යන පක්ෂීන්ගේ පිය නොදත හෙන්නාසේ ඒ ක්ෂිණාශ්රවයා ආශ්රය කරණ ලද පද වාරයෙක් නොදත හැක්කේය.”
ඉත්ථං සුදං ආයස්මා විජය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
විජය ථේර ගාථා
1. 10. 3.
93. “එරකය, කාමයෝ දුක් වන්නාහ. එරකය, කාමයෝ සැප නොවන්නාහ. එරකය, යමෙක් කාමයන් කැමැතිවේනම් හේ දුක කැමැතිවේ. එරකය යමෙක් කාමයන් නොකැමැති වේද, එරකය, හේ දුක නොකැමැතිවේ.”
ඉත්ථං සුදං ආයස්මා එරක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
එරක ථේර ගාථා
1. 10. 4.
94. “ශාක්ය පුත්රවූ ශ්රීමත් ඒ භගවත්හට නමස්කාරය වේවා. අග්රප්රාප්තවූ උන්වහන්සේ විසින් මේ අග්රවූ නවවිධ ලොකොත්තර ධර්මය දෙසන ලදී.”
ඉත්ථං සුදං ආයස්මා මෙත්තජි තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
මෙත්තජි ථේර ගාථා
1. 10. 5.
95. “මම අන්ධයෙමි. විනාශ ඇස් ඇතියෙමි. කාන්තාරයක් බඳු වෙනෙහි දික් මඟට ආයෙමි. මෙහිම වැද හෝ නෙම් නමුදු පාපීවූ යහළුවකු සමග නොයන්නෙමි.”
ඉත්ථං සුදං ආයස්මා චක්ඛුපාල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
චක්ඛුපාල ථේර ගාථා
1. 10. 6.
96. “එක් මලක් පුදා අවුරුදු අසූකෙළක් මුළුල්ලෙහි ස්වර්ගයන්හි රූපාදී මනාප අරමුණු විෂයෙහි ඉඳුරන් හසුරුවා දෙව්සරන් ලවා මෙහෙකරවා පියා ඒ කුශලයාගේම ඉතිරිව සිටි විපාකයෙන් කෙලෙස් පිරිනිවනින් නිවී ගියෙමි.”
ඉත්ථං සුදං ආයස්මා ඛණ්ඩ සුමන තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ඛණ්ඩ සුමණ ථේර ගාථා