නවමවග්ගො
1. 9. 1.
81. “මා විසින් මෙයට පෙර අන්‍ය ජාතීන්හි කළ යම් පවෙක් වේද, ඒ පාපය මේ ආත්මභාවයෙහි පමණක් වින්ද යුතුය. ඒ කර්මයාගේ විපාකයට අවසර ලත් අන්‍ය ස්කන්ධ ප්‍රබන්ධයෙක් නැත්තේය.”
ඉත්ථං සුදං ආයස්මා සමිතිගුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සමිතිගුත්ත ථේර ගාථා
1. 9. 2.
82. “යම් මේ දිශා භාගයෙක්හි යහපත්වූ නිර්භයවූ පිඬු සුලබ රටවල් වෙද්ද, සුරතල් දරුව එහි යව, ශෝකයෙන් මඩනා ලද්දෙක් නොවෙව-”
ඉත්ථං සුදං ආයස්මා කස්සප තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
කස්සප ථේර ගාථා
1. 9. 3.
83. “සීහය, දිවා රෑ දෙක්හි නොමැළිව නොපමාව වාසය කරන්න සමථ විදර්ශනාදී කුශල ධර්මය වඩන්න ආත්මභාවය වහා හැරලන්න.”
ඉත්ථං සුදං ආයස්මා සීහ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සීහ ථේර ගාථා
1. 9. 4.
84. “මුළු රැය නිදා පියා දහවල් තිරශ්චීන කථායුත් කය තර කිරීමෙහි යෙදුණු භික්ෂු සාමණෙරයන් සමග මුසුව විසීමෙහි ඇලුණු අඥාන තැනැත්තේ කවර නම් කලෙක සසර දුක කෙළවර කරන්නේද?”
ඉත්ථං සුදං ආයස්මා නීත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
නීත ථේර ගාථා
1. 9. 5.
85. “භාවනා චිත්තය පිළිබඳ නිමිත්ත ග්‍රහණයෙහි දක්ෂවූ යොගාවචර තෙමේ උත්තම විවේක රසය හැඳිනගෙන ධ්‍යාන වඩන්නේ කමටහන්ගෙන හැසිරීමෙහි දක්ෂවූයේ පැමිණ සිටි සිහි ඇත්තේ නිරාමිසවූ නිර්වාණ සුඛඵල සුඛයනට පැමිණෙන්නේය.”
ඉත්ථං සුදං ආයස්මා සුනාග තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සුනාග ථේර ගාථා
1. 9. 6.
86. “මේ ශාසනය කෙරෙන් පිටත නානා තීර්ථකයන්ගේ සමයයන්හි ‘මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැති නිවන් වදනා මඟෙක් නැත්තේය”යි භාග්‍යවත්වූ ශාස්තෲන් වහන්සේ බික් සඟනට අත්ලෙහි තුබූ මිණිරුවනක් සෙයින් පැහැදිලිකොට දක්වමින් අනුශාසනා කරනසේක.”
ඉත්ථං සුදං ආයස්මා නාගිත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
නාගිත ථේර ගාථා
1. 9. 7.
87. “මා විසින් පඤ්චස්කන්ධයෝ විදර්ශනා ප්‍රඥා සහිත මාර්ග ප්‍රඥායෙන් අවිපරීත කොට දක්නා ලදහ, හැම භවයෝ මාර්ග ඥාන නැමැති පොරොවින් පලා පියන ලද්දාහ. ජාතිදුක් මුල්කොට පවත්නා සසර වෙසෙසින් ක්ෂය කරන ලද්දේය. දැන් මතු භවයෙහි උපැද්මෙක් මට නැත්තේය.”
ඉත්ථං සුදං ආයස්මා පවිට්ඨ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
පවිට්ඨ ථේර ගාථා
1. 9. 8.
88. “මහත් දිය වතුරෙක්හි පා කොට ගෙනයනු ලබන්නකු වැනිවූ මම සසර නැමැති දියවරින් නිවන් නමැති ගොඩබිමට තමා නගා ගන්නට හැකි වීමි. විස්මයෙකි, මම සතර සත්‍යයන් දැන ගතිමි.”
ඉත්ථං සුදං ආයස්මා අජ්ජුන තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
අජ්ජුන ථේර ගාථා
1. 9. 9.
89. “කාම රාග නමැති ප්‍රකෘති මඩද අඹුසැමි ආදීන් විෂයෙහි පවත්නා බලවත් රාග නමැති ගෝරු මඩද මා විසින් එතෙර කරන ලද්දාහ. දෙසැට දෘෂ්ටි නමැති පාතාලයෝ දුරුකරන ලද්දාහ. කාමාදී සතර සැඩ වතුරෙන්ද අභිජ්ඣාදි සතර ගැටවලින්ද මිදුනෙමි. නවවිධ මානයෝ වෙසෙසින් නසාපියන ලදහ.”
ඉත්ථං සුදං ආයස්මා දෙවසභ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
දෙවසභ ථේර ගාථා
1. 9. 10.
90. “මා විසින් පංචස්කන්ධයෝ ලක්ෂණ රසාදි වශයෙන්ද අනිත්‍යාදි වශයෙන්ද පිරිසිඳ දන්නා ලදහ. (ඔවුහු) සිඳීගිය තෘෂ්ණා නමැති මුල් ඇත්තාහු සිටිනාහ. ජාතිදුක් මුල්කොට පවත්නා සසර වෙසෙසින් ක්ෂය කරන ලද්දේය. දැන් මතු බවෙහි ඉපදීමෙක් මට නැත්තේයි.”
ඉත්ථං සුදං ආයස්මා සාමිදත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සාමිදත්ත ථේර ගාථා
නවම වග්ගයයි.
එහි උද්දානය:
සමිතිගුත්ත තෙරණුවෝද, කස්සප ද, සීහ නම් තෙරණුවෝද, නීත ද, සුනාග ද, නාගිත ද, පවිට්ඨ ද, ඉසි අජ්ජුන ද, දෙවසභ තෙරණුවෝ ද, මහත් බල ඇති සාමිදත්ත ද (වෙත්).