1. 8. 7.
77. “මේ සිත (නිග්රහ කාලයෙන්) පෙර රමණයට සුදුසු යම් යම් අරමුණු වශයෙන් කැමති පරිදි සුව පරිදි සැරිසරා ගියේය. ඒ සිත මෙකල්හි මතැතක්හු දමාලන හස්ත්යාචාර්යයකු මෙන් උපාය මනස්කාරයෙන් මැඩලන්නෙමි.”
හත්ථාරෝහකපුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
හත්ථාරොහකපුත්ත ථෙරගාථා.
1. 8. 8.
78. “නොයෙක් ජාති ශතසහශ්රයෙන් යුත් සසරවට මුළුල්ලෙහි භවගති නවතාලන අර්හත් මාර්ග ඥානය නොලබනු මේ නොවිඳින්නේ චුති-උත්පත්ති වශයෙන්) දිව ඇවිද්දෙමි. හටගත් දුක් ඇති ඒ මාගේ දුක් රැස (දැන්) ගිලිහී පහව ගියේය.”
ආයුෂ්මත් මෙණ්ඩසිර තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
මෙණ්ඩසිර ථෙරගාථා.
1. 8. 9.
79. “කාමරාගාදී ප්රභෙද ගත සියලුම රාගය මා විසින් ප්රහීණ කරනලදී. සියලුම ව්යාපාද එසෙයින්ම නැසිණ, මා විසින් සියලු මෝහය (අර්හත් මාර්ග ඥානයෙන්) පහකරනලදී. සිහිල්බවට පැමිණියෙමි. නිවී ගියමි.”
ආයුෂ්මත් රක්ඛිත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
රක්ඛිත ථෙරගාථා.
1. 8. 10.
80. “මා විසින් කරනලද අල්පවූ හෝ බොහෝ වූ හෝ යම් කුශලාකුශලකර්මයෙක් වීද, ඒ සියලු කර්මය හාත්පසින් ක්ෂයව ගියේය. මතු බවෙහි ඉපදීමෙක් මට නැත්තේය.”
ආයුෂ්මත් උග්ගතෙරණුවෝ මේ ගාථාව වදාළහ.
උග්ග ථෙරගාථා.
වග්ගො අට්ඨමො නිට්ඨිතො.
එහි උද්දානය:
වච්ඡපාල තෙරුන් ද, ආතුම ද, මාණව ඍෂි ද, සුයාම ද, සුසාරද තෙරුන් ද, පියඤ්ජහ ද, හත්ථාරොහපුත්ත ද, මෙණ්ඩසිර ද, රක්ඛිත ද සහ උග්ග ද වේ.
නවමවග්ගො
1. 9. 1.
81. “මා විසින් මෙයට පෙර අන්ය ජාතීන්හි කළ යම් පවෙක් වේද, ඒ පාපය මේ ආත්මභාවයෙහි පමණක් වින්ද යුතුය. ඒ කර්මයාගේ විපාකයට අවසර ලත් අන්ය ස්කන්ධ ප්රබන්ධයෙක් නැත්තේය.”
ඉත්ථං සුදං ආයස්මා සමිතිගුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සමිතිගුත්ත ථේර ගාථා
1. 9. 2.
82. “යම් මේ දිශා භාගයෙක්හි යහපත්වූ නිර්භයවූ පිඬු සුලබ රටවල් වෙද්ද, සුරතල් දරුව එහි යව, ශෝකයෙන් මඩනා ලද්දෙක් නොවෙව-”
ඉත්ථං සුදං ආයස්මා කස්සප තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
කස්සප ථේර ගාථා
1. 9. 3.
83. “සීහය, දිවා රෑ දෙක්හි නොමැළිව නොපමාව වාසය කරන්න සමථ විදර්ශනාදී කුශල ධර්මය වඩන්න ආත්මභාවය වහා හැරලන්න.”
ඉත්ථං සුදං ආයස්මා සීහ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සීහ ථේර ගාථා
1. 9. 4.
84. “මුළු රැය නිදා පියා දහවල් තිරශ්චීන කථායුත් කය තර කිරීමෙහි යෙදුණු භික්ෂු සාමණෙරයන් සමග මුසුව විසීමෙහි ඇලුණු අඥාන තැනැත්තේ කවර නම් කලෙක සසර දුක කෙළවර කරන්නේද?”
ඉත්ථං සුදං ආයස්මා නීත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
නීත ථේර ගාථා
1. 9. 5.
85. “භාවනා චිත්තය පිළිබඳ නිමිත්ත ග්රහණයෙහි දක්ෂවූ යොගාවචර තෙමේ උත්තම විවේක රසය හැඳිනගෙන ධ්යාන වඩන්නේ කමටහන්ගෙන හැසිරීමෙහි දක්ෂවූයේ පැමිණ සිටි සිහි ඇත්තේ නිරාමිසවූ නිර්වාණ සුඛඵල සුඛයනට පැමිණෙන්නේය.”
ඉත්ථං සුදං ආයස්මා සුනාග තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සුනාග ථේර ගාථා
1. 9. 6.
86. “මේ ශාසනය කෙරෙන් පිටත නානා තීර්ථකයන්ගේ සමයයන්හි ‘මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැති නිවන් වදනා මඟෙක් නැත්තේය”යි භාග්යවත්වූ ශාස්තෲන් වහන්සේ බික් සඟනට අත්ලෙහි තුබූ මිණිරුවනක් සෙයින් පැහැදිලිකොට දක්වමින් අනුශාසනා කරනසේක.”
ඉත්ථං සුදං ආයස්මා නාගිත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
නාගිත ථේර ගාථා