1. 6. 7.
57. “මේ කුටි තොමෝ පරණව ගියාවෙයි. තෝ වෙන අලුත් කුටියක් පතන්නෙහිය අලුත් කුටියෙහි ආශාව දුරුකරන්න මහණ, නැවත අලුත් කුටිය දුක්වන්නීය.”
ආයුෂ්මත් කුටිවිහාරී තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
දෙවන කුටි විහාරී ථේර ගාථා.
1. 6. 8.
58. “මාගේ කුටිකා තොමෝ සිත්කලුය. සැදැහැවතුන් විසින් දෙන ලද්දීය. සිත් අලවන්නීය. (තොප කීයේ සැබෑමය. එහෙයින්) මට කුමරියන්ගෙන් ප්‍රයෝජනයක් නැත. කාන්තාවෙනි, (තොපගෙන් යම් කෙනෙකුන්ට ප්‍රයෝජනයෙක් වේ නම් එහි යව්.”
ආයුෂ්මත් රමණිය කුටික තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
රමණීය කුටික ථේර ගාථා.
1. 6. 9.
59. “මම සැදැහැයෙන් පැවිදිවීමි. මට වෙනෙහි කුටිකාවක් කරන ලදු, නොපමාවිමි. කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වීමි. මුහු කළ නුවණ ඇත්තෙමි. පැමිණි සිටි සිහි ඇත්තෙමි.”
ආයුෂ්මත් කොසල විහාරී තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
කොසල විහාරී ථේර ගාථා.
1. 6. 10.
60. “විද්‍යාවිමුක්ත්‍යාදී යම් ලාභයක් ප්‍රයෝජන කොට ඇත්තෙම් කුටි නම්වූ ශුන්‍යාගාරයට වැද්ද ගනිමිද, මාගේ ඒ කුශලසංකල්පයෝ සමෘද්ධව ගියහ. ත්‍රිවිද්‍යාවන් හා අර්හත්ඵල විමුක්තිය සොයමින් නවවිධ මානය හා සප්තවිධ අනුශය ගෙවා හැරියෙමි.”
ආයුෂ්මත් සීවලී තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සීවලී ථේර ගාථා.
වග්ගො ඡට්ඨො නිට්ඨිතො.
එහි උද්දානය:
ගොධික ද, සුබාහු ද, වල්ලිය ද, උත්තිය ඍෂි ද, අඤ්ජනවනිය තෙරුන් ද, කුටිවිහාරී දෙනමක් ද, රමණීයකුටික ද, කොසල විහාරී හා සීවලී ද වේ.
7. සත්තමවග්ගො
1. 7. 1.
61. “මනා නුවණින් ස්වභාව ධර්මය අවිපරීත ලෙස දක්නා තැනැත්තේ දර්ශන සම්පන්න අන්‍යයාද (ආර්යයාද) දකියි. ස්වභාව ධර්මය අවිපරීත ලෙස නොදත් පෘථග්ජනයාද දකියි. ස්වභාව ධර්මය අවිපරීත ලෙස නොදත් පෘථග්ජනතෙමේ දර්ශන විරහිත පෘථග්ජනයාද දර්ශන සම්පන්න ආර්යයාද නොදකියි.”
ආයුෂ්මත් වප්පතෙරණුවෝ මේ ගාථාව වදාළහ.
වප්ප ථෙරගාථා.
1. 7. 2.
62. “අපි වෙනෙහි හරනලද දරකඩක්සේ තනිව වාසය කෙරෙමු. ඒ මාහට බොහෝ නුවණැත්තෝ ස්වර්ගගාමීන්ට නිරයේ උපනුන් මෙන් කැමැති වෙත්.”
ආයුෂ්මත් වජ්ජිපුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
වජ්ජිපුත්ත ථෙරගාථා.
1. 7. 3.
63. “යම් කෙනෙක් කුශලධර්මයෙන් ගිලිහුණෝ වෙද්ද, ඔවුහු නිරයාදියෙහි වැටීයෙති, (එසේ) වැටී ගියෝද භව සැපතෙහි ගිජුවූවාහු යළි යළිත් සසරදුකට වැටෙන්නාහ. මා විසින් සිවු මගින් කටයුතු සොළොස් වැදෑරුම් කිසකොට නිමවනලදී. ඇලියයුතු නිවනෙහි ඇලුම් කරනලදී. ඵල සමාපත්ති සුඛයෙන් නිවණට අනුක්‍රමයෙන් පැමිණෙනලදී.”
ආයුෂ්මත් පක්ඛ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
පක්ඛ ථෙරගාථා.
1. 7. 4.
64. “ගසෙක නම ඇත්තියකු කෙරේ හෙවත් අම්බපාලී ගණිකාවගේ කුසෙහි උපන්නේය. සුදු කොඩියක් ඇත්තකු හෙවත් බිම්සර රජහු කරණකොටගෙන හටගත්තේය. (උඩට ඔසවන අර්ථයෙන්) ‘කේතු’ නම් පත් මානය ගෙවා හළ විමල කොණ්ඩඤ්ඤ, (කුශලධර්මයන්හි උද්ගතාර්ථයෙන්) කේතු නම් ලත් ප්‍රඥායෙන්ම ‘මහාකෙතු’ නම් ලත් මාරයාගේ බලය මැඩලීය”
ආයුෂ්මත් විමල කොණ්ඩඤ්ඤ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
විමලකොණ්ඩඤ්ඤ ථෙරගාථා.
1. 7. 5.
65. “උක්ඛෙපකට වච්ඡයා විසින් බොහෝ අවුරුදු ගණනෙකින් (ළෙහිදරා) එකතුකොට ගන්නාලද යම් බුද්ධ වචනයක් වේද, ධර්මයෙහි මනාසේ පිහිටා හුන්, (ඒ සමාපත්ති වශයෙන් හා ධර්මදේශනා වශයෙන්) උපන් උදාර ප්‍රීති ඇති වච්ඡතෙමේ ඒ ධර්මය ගිහියනට දේශනා කෙරෙයි.”
ආයුෂ්මත් උක්ඛෙපකට වච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
උක්ඛෙපකට වච්ඡ ථෙරගාථා.