6. ඡට්ඨවග්ගො
1. 6. 1.
51. “වැසි වලාව සුන්දර ගීතයක් මෙන් ගර්ජනය කෙරෙමින් වසී. මාගේ සෙවෙනි කළ කුටිය සැප එළවන්නීය. වාත ප්‍රවේශ රහිතය. මාගේ සිත නිවන් අරමුණුකොටගෙන යහපත්ව පිහිටියේය. මේඝයා දැන් කැමැත්තෙහි නම් වසින්න”
ආයුෂ්මත් ගොධික තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ගොධික ථේර ගාථා.
1. 6. 2.
52. “වැසි වලාව සුන්දර ගීතක් මෙන් ගර්ජනය කෙරෙමින් වසී. සෙවෙනි කළ මාගේ කුටිය සැප එළවන්නීය. වාතප්‍රවේශ රහිතය. මාගේ සිත කායගතාසතිභාවනාරම්මණයෙහි යහපත්ව පිහිටියේය. වැසිවළාව කැමැත්තෙහි නම් වසින්න.”
ආයුෂ්මත් සුබාහු තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සුබාහු ථේර ගාථා.
1. 6. 3.
53. “වැසිවළාව සුන්දර ගීතයක් ගර්ජනය කෙරෙමින් වසී. සෙවෙනි කළ මාගේ කුටිය සැප එළවන්නීය. වාතප්‍රවේශ රහිතය. එහි අප්‍රමාදව වෙසෙමි. වැසිවළාව, දැන් කැමැත්තෙහි නම් වසින්න.”
ආයුෂ්මත් වල්ලිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
වල්ලිය ථේර ගාථා.
1. 6. 4.
54. “මේඝය තෙමේ සුන්දර ගීතයක් මෙන් වසී. සෙවෙනි කළ මාගේ කුටිය සැපය එළවන්නීය. වාතප්‍රවේශ රහිතය. එහි තනියම වාසය කෙරෙමි. මේඝය, දැන් කැමැත්තෙහි නම් වසින්න.”
ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
උත්තිය ථේර ගාථා.
1. 6. 5.
55. “අඳුන් වනයට බැස දික්හඟලා පුටුව කුටියක් කොටගෙන (වාසය කළ මා විසින්) ත්‍රිවිද්‍යාවෙන් පැමිණෙන ලද්දාහ. බුදුහුගේ අනුශාසනය කරනලදී.”
ආයුෂ්මත් අංජනවනීය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
අංජනවනීය ථේර ගාථා.
1. 6. 6.
56. “කුටියෙහි කවරෙක්ද? කුටියෙහි පහකළ රාගය ඇති නිර්වාණාරම්මණයෙහි යහපත්ව පිහිටි සිත් ඇති භික්ෂුවෙකි. ඇවත, මෙසේ දැනගන්න. තා විසින් කරනලද කුටිකා තොමෝ නොසිස් වූවාය.”
ආයුෂ්මත් කුටිවිහාරි තෙරණුවෝ මේ ගාථා වදාළහ.
කුටි විහාරි ථේර ගාථා.
1. 6. 7.
57. “මේ කුටි තොමෝ පරණව ගියාවෙයි. තෝ වෙන අලුත් කුටියක් පතන්නෙහිය අලුත් කුටියෙහි ආශාව දුරුකරන්න මහණ, නැවත අලුත් කුටිය දුක්වන්නීය.”
ආයුෂ්මත් කුටිවිහාරී තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
දෙවන කුටි විහාරී ථේර ගාථා.
1. 6. 8.
58. “මාගේ කුටිකා තොමෝ සිත්කලුය. සැදැහැවතුන් විසින් දෙන ලද්දීය. සිත් අලවන්නීය. (තොප කීයේ සැබෑමය. එහෙයින්) මට කුමරියන්ගෙන් ප්‍රයෝජනයක් නැත. කාන්තාවෙනි, (තොපගෙන් යම් කෙනෙකුන්ට ප්‍රයෝජනයෙක් වේ නම් එහි යව්.”
ආයුෂ්මත් රමණිය කුටික තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
රමණීය කුටික ථේර ගාථා.
1. 6. 9.
59. “මම සැදැහැයෙන් පැවිදිවීමි. මට වෙනෙහි කුටිකාවක් කරන ලදු, නොපමාවිමි. කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වීමි. මුහු කළ නුවණ ඇත්තෙමි. පැමිණි සිටි සිහි ඇත්තෙමි.”
ආයුෂ්මත් කොසල විහාරී තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
කොසල විහාරී ථේර ගාථා.
1. 6. 10.
60. “විද්‍යාවිමුක්ත්‍යාදී යම් ලාභයක් ප්‍රයෝජන කොට ඇත්තෙම් කුටි නම්වූ ශුන්‍යාගාරයට වැද්ද ගනිමිද, මාගේ ඒ කුශලසංකල්පයෝ සමෘද්ධව ගියහ. ත්‍රිවිද්‍යාවන් හා අර්හත්ඵල විමුක්තිය සොයමින් නවවිධ මානය හා සප්තවිධ අනුශය ගෙවා හැරියෙමි.”
ආයුෂ්මත් සීවලී තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සීවලී ථේර ගාථා.
වග්ගො ඡට්ඨො නිට්ඨිතො.
එහි උද්දානය:
ගොධික ද, සුබාහු ද, වල්ලිය ද, උත්තිය ඍෂි ද, අඤ්ජනවනිය තෙරුන් ද, කුටිවිහාරී දෙනමක් ද, රමණීයකුටික ද, කොසල විහාරී හා සීවලී ද වේ.