1. 5. 5.
45. යම්සේ යහපත්වූ වෘෂභාජානීය තෙම (වෙහෙසට පත්ව) පැකිලී යළිත් සිටිසේම පිහිටා සිටීද, එසේ මාර්ග සම්යක්දෘෂ්ටියෙන් දර්ශන සම්පන්නවූ, සම්යක් සම්බුද්ධයන්ගේ ශ්රාවකයා සලකව්.”
ආයුෂ්මත් රමණීය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
රමණීය විහාරී ථේර ගාථා.
1. 5. 6.
46. “මම සැදැහැයෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවීමි. මාගේ ස්මෘති ප්රඥාගුණයෝ වැඩී ගියහ. මාගේ සිතද මනාකොට එකාරම්මණයෙක්හි පිහිටියේය. මාරය, තෝ රිසිසේ භයජනක රූපයන් කරන්න, තෝ මා පෙළාලිය නොහෙන්නෙහිමය”
ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සමිද්ධි ථේර ගාථා.
1. 5. 7.
47. “බුද්ධ වීරයන් වහන්ස, නුඹ වහන්සේට මාගේ නමස්කාරය වේවා. නුඹ වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණු සේක. නුඹවහන්සේගේ අවවාදයෙහි (ප්රතිපත්ති මාර්ගයෙහි) පිහිටා වාසය කරන්නෙම් කාමාදී කල්ගතවූ කෙලෙස් නැතිව වෙසෙමි”
ආයුෂ්මත් උජ්ජය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
උජ්ජය ථේර ගාථා.
1. 5. 8.
48. “යම් තැනෙක පටන් මම ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදිවීම්ද, එතැන් පටන් ලාමකවූ රාගාදී දොසින් යුක්තවූ, මිථ්යාවිතර්කයක් නොදනිමි.”
ආයුෂ්මත් සංජය තෙරණුවෝ මේ ගාථා වදාළහ.
සංජය ථේර ගාථා.
1. 5. 9.
49. “විහ විහ, යයි රැව් දෙන වටුවන්ගේ නාදය හේතුකොට ගෙන වේවයි, උණහපුළුවන්ගේ නොහොත් වඳුරන්ගේ නාදය හේතුකොට ගෙන වේවයි මාගේ සිත නෙසැලෙන්නේය. ඒ එසේමැයි මාගේ සිත එකත්වයෙහි එකඟබවෙහි නිති ඇලී ගියේය”
ආයුෂ්මත් රාමණෙය්යක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
රාමණෙය්යක ථේර ගාථා.
1. 5. 10.
50. “පොළවද, තෙමීයයි. සුළඟද හමයි. අහස්හි විදුලියද, හැසිරෙයි. කාමාදී විතර්කයෝ සංසිඳෙති. මාගේ සිත ලොකොත්තර සමාධියෙන් යහපත්ව පිහිටියේය.
ආයුෂ්මත් විමලතෙරණුවෝ මේ ගාථා වදාළහ.
විමල ථේර ගාථා.
පස්වන වර්ගය නිමි.
එහි උද්දානය:
සිරිවඩ්ඪ ද, රෙවත තෙරුන් ද, සුමංගල ද, සානු ද, රමණීයවිහාරී ද, සමිද්ධි, උජ්ජය හා සඤ්ජය ද, රාමණෙය්යක තෙරුන් ද, රණඤ්ජහ විමල ද වේ.