1. 5. 6.
46. “මම සැදැහැයෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවීමි. මාගේ ස්මෘති ප්රඥාගුණයෝ වැඩී ගියහ. මාගේ සිතද මනාකොට එකාරම්මණයෙක්හි පිහිටියේය. මාරය, තෝ රිසිසේ භයජනක රූපයන් කරන්න, තෝ මා පෙළාලිය නොහෙන්නෙහිමය”
ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සමිද්ධි ථේර ගාථා.
1. 5. 7.
47. “බුද්ධ වීරයන් වහන්ස, නුඹ වහන්සේට මාගේ නමස්කාරය වේවා. නුඹ වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණු සේක. නුඹවහන්සේගේ අවවාදයෙහි (ප්රතිපත්ති මාර්ගයෙහි) පිහිටා වාසය කරන්නෙම් කාමාදී කල්ගතවූ කෙලෙස් නැතිව වෙසෙමි”
ආයුෂ්මත් උජ්ජය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
උජ්ජය ථේර ගාථා.
1. 5. 8.
48. “යම් තැනෙක පටන් මම ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදිවීම්ද, එතැන් පටන් ලාමකවූ රාගාදී දොසින් යුක්තවූ, මිථ්යාවිතර්කයක් නොදනිමි.”
ආයුෂ්මත් සංජය තෙරණුවෝ මේ ගාථා වදාළහ.
සංජය ථේර ගාථා.
1. 5. 9.
49. “විහ විහ, යයි රැව් දෙන වටුවන්ගේ නාදය හේතුකොට ගෙන වේවයි, උණහපුළුවන්ගේ නොහොත් වඳුරන්ගේ නාදය හේතුකොට ගෙන වේවයි මාගේ සිත නෙසැලෙන්නේය. ඒ එසේමැයි මාගේ සිත එකත්වයෙහි එකඟබවෙහි නිති ඇලී ගියේය”
ආයුෂ්මත් රාමණෙය්යක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
රාමණෙය්යක ථේර ගාථා.
1. 5. 10.
50. “පොළවද, තෙමීයයි. සුළඟද හමයි. අහස්හි විදුලියද, හැසිරෙයි. කාමාදී විතර්කයෝ සංසිඳෙති. මාගේ සිත ලොකොත්තර සමාධියෙන් යහපත්ව පිහිටියේය.
ආයුෂ්මත් විමලතෙරණුවෝ මේ ගාථා වදාළහ.
විමල ථේර ගාථා.
පස්වන වර්ගය නිමි.
එහි උද්දානය:
සිරිවඩ්ඪ ද, රෙවත තෙරුන් ද, සුමංගල ද, සානු ද, රමණීයවිහාරී ද, සමිද්ධි, උජ්ජය හා සඤ්ජය ද, රාමණෙය්යක තෙරුන් ද, රණඤ්ජහ විමල ද වේ.
6. ඡට්ඨවග්ගො
1. 6. 1.
51. “වැසි වලාව සුන්දර ගීතයක් මෙන් ගර්ජනය කෙරෙමින් වසී. මාගේ සෙවෙනි කළ කුටිය සැප එළවන්නීය. වාත ප්රවේශ රහිතය. මාගේ සිත නිවන් අරමුණුකොටගෙන යහපත්ව පිහිටියේය. මේඝයා දැන් කැමැත්තෙහි නම් වසින්න”
ආයුෂ්මත් ගොධික තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ගොධික ථේර ගාථා.
1. 6. 2.
52. “වැසි වලාව සුන්දර ගීතක් මෙන් ගර්ජනය කෙරෙමින් වසී. සෙවෙනි කළ මාගේ කුටිය සැප එළවන්නීය. වාතප්රවේශ රහිතය. මාගේ සිත කායගතාසතිභාවනාරම්මණයෙහි යහපත්ව පිහිටියේය. වැසිවළාව කැමැත්තෙහි නම් වසින්න.”
ආයුෂ්මත් සුබාහු තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සුබාහු ථේර ගාථා.
1. 6. 3.
53. “වැසිවළාව සුන්දර ගීතයක් ගර්ජනය කෙරෙමින් වසී. සෙවෙනි කළ මාගේ කුටිය සැප එළවන්නීය. වාතප්රවේශ රහිතය. එහි අප්රමාදව වෙසෙමි. වැසිවළාව, දැන් කැමැත්තෙහි නම් වසින්න.”
ආයුෂ්මත් වල්ලිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
වල්ලිය ථේර ගාථා.
1. 6. 4.
54. “මේඝය තෙමේ සුන්දර ගීතයක් මෙන් වසී. සෙවෙනි කළ මාගේ කුටිය සැපය එළවන්නීය. වාතප්රවේශ රහිතය. එහි තනියම වාසය කෙරෙමි. මේඝය, දැන් කැමැත්තෙහි නම් වසින්න.”
ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
උත්තිය ථේර ගාථා.
1. 6. 5.
55. “අඳුන් වනයට බැස දික්හඟලා පුටුව කුටියක් කොටගෙන (වාසය කළ මා විසින්) ත්රිවිද්යාවෙන් පැමිණෙන ලද්දාහ. බුදුහුගේ අනුශාසනය කරනලදී.”
ආයුෂ්මත් අංජනවනීය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
අංජනවනීය ථේර ගාථා.
1. 6. 6.
56. “කුටියෙහි කවරෙක්ද? කුටියෙහි පහකළ රාගය ඇති නිර්වාණාරම්මණයෙහි යහපත්ව පිහිටි සිත් ඇති භික්ෂුවෙකි. ඇවත, මෙසේ දැනගන්න. තා විසින් කරනලද කුටිකා තොමෝ නොසිස් වූවාය.”
ආයුෂ්මත් කුටිවිහාරි තෙරණුවෝ මේ ගාථා වදාළහ.
කුටි විහාරි ථේර ගාථා.