7. රාජ පුත්‍ර ප්‍රේත කථාව
762. “පූර්ව ජන්මයෙහි කරන ලද අකුසල කර්මයන්ගේ විපාකයතෙම සිත මනරම් රූප හේතුවෙන්ද, ශබ්ද හේතුවෙන්ද රස හේතුවෙන්ද, ගන්ධහේතුවෙන්ද, ස්පර්ශ හේතුවෙන්ද මැඩලන්නේය.
763. “බොහෝවූ නෘත්‍යය ගීතය කාම රතිය හා මිත්‍රාදීන් හා ක්‍රීඩාව උයනෙහි විඳ රජගහ නුවරට පිවිසෙන්නේය.
764. “මහර්ෂිවූ දැමුණු සිත් ඇති අර්හත් ඵල සමාදියෙන් සන්හුන්වූ ආසා ඇත්තාවූ, ලජ්ජා සහිතවූ පාත්‍රයට ගත් ආහාරයෙහි සතුටුවූ සුනෙත්ත නම් පසේබුදුන් දුටුවේය.
765. “රාජ පුත්‍රතෙම ඇතුපිටින් බැස ස්වාමීනි, භික්ෂාව ලබන ලදදැයි ඇසීය. උන්වහන්සේගේ පාත්‍රය ගෙන ඉතා උස්කොට ඔසවා,
766. “තද භූමිප්‍රදෙශයක පාත්‍රය බිඳ සිනාසෙමින් මඳක් ඉවත්ව සිටියේය. ‘මහණ මම කිතව රජුගේ පුත්‍රයා වෙමි. මට කුමක් කරන්නෙහිද?’
767. “දරුණුවූ ඒ අකුශල කර්මයාගේ විපාකය කටුක විය. කරන ලද දරුණු පව ඇති රාජ පුත්‍රතෙම නරකයෙහි පිහිටියේ යම් විපාකයක් විඳීද?
768. “සුවාසූ දහස් සයක්ම එහෙයින්ම නහුත ගණන් අවුරුදු නරකයෙහි ඉතාමත් දුකට පැමිණියේය.
769. “අඥාන රාජ පුත්‍රයා උඩුකුරුව වම් ඇලයෙන් හා දකුණු ඇලයෙන් යුක්තවද, උඩුකුරු පාඇතිවද, සිටියේද, බොහෝ කලක් මුළුල්ලෙහි නිරයෙහි පැසුණේය
770. “බොහෝවූ අවුරුදු දහස් ගණන් මුළුල්ලෙහිද, අවුරුදු සමූහයක් මුළුල්ලෙහිද නහුත ගණන් මුළුල්ලෙහිද, ඉතාමත් දුකට පැමිණියේය.
771. “අපරාධීන් කෙරෙහි මෙත් සිතැති මනා පැවතුම් ඇති ඍෂීහු වෙත වරදවා පව්කම් කරන පුද්ගලයෝ මෙබඳුවූම ඉතාදුක් ඇතිව පැසෙත්.
772. “ඒ රාජ පුත්‍රයා ඒ නරකයෙහි අවුරුදු ගණනක් මුළුල්ලෙහි බොහෝ දුක්විඳ එයින් චුතවූයේ සා පිපාසායෙන් මැඩුනාවුම ප්‍රෙතයෙක් විය.
773. “යමෙක් මෙසේ ඉසුරුමදයෙන්වූ, දෝෂය දැක ඉසුරු මදය හැරපියා යටත් පැවැත්මට අනුව ජීවත්වේද,
774. “බුදුන් කෙරෙහි ගෞරව සහිත වේද, නුවණැති හෙතෙම මේ ආත්මයෙහිදීම පැසසිය යුතුවේ. මරණින් මතු දෙව් ලොවට පැමිණෙයි.”
රාජපුත්තපෙතවත්ථු සත්තමං.
8. ගූථඛාදක ප්‍රෙත කථාව
775. “කවරෙක් අසූචි වළෙන් නැගී බැගෑපත්වම සිටින්නෙහිද පව් කම් ඇත්තා නිසැකව කවරෙක්දැයි තේරුම් ගන්නේද? කිම,
776. “ස්වාමීනි, මම නපුරු ගති ඇති යම් ලෝකයෙහිවූ ප්‍රේතයක් වෙමි. පාප කර්මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.
777. “කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරුකමක් කරණ ලද්දේද? කවර කර්ම විපාකයකින් ඉදං දුක්ඛං නිගච්ඡසි.”
778. “ඊර්ෂ්‍යා සිත් ඇති කුලයා කෙරෙහි මසුරුවූ තද මසුරු සිත් ඇති පරිභව කරන්නාවූ මාගේ ගෙදර තෘෂ්ණාවෙහි බැඳුනාවූ මාගේ ආවාසයෙහි නිත්‍ය වාසී භික්ෂුවක් විය.
779. “මම ඒ මහණගේ කීම අසා භික්ෂූන්ට නින්දා කෙළෙමි. ඒ කර්මයාගේ විපාකයෙන් මෙයින් ප්‍රෙත ලෝකයට ගියෙමි.
780. “තට මිත්‍ර ස්වරූපයෙන් කුළුපගවූ අමිත්‍ර වූ යම් මහණෙක්වීද ඒ දුෂ්ප්‍රාඥයා මරණින් මතු පරලොව කෙබඳු දුගතියකට පැමිණෙයිද?”
781. “පවිටු සමාචාර ඇති ඒ ශ්‍රමණ ප්‍රෙතයාගේ හිස මුදුනේම මම දැන් සිටිමි. හෙතෙමේද ප්‍රෙත ලෝකයට පැමිණියේ මාගේම මෙහෙකරුවෙකු විය.
782. “ස්වාමීනි, සෙස්සෝ යම් අසූචියක් හෙළත්ද, ඒ අසූචි මාගේ භොජනය වෙයි. මමද වනාහි යම් අසූචියක් පහරම්ද එය කෑමෙන් ඒ ශ්‍රමණ ප්‍රෙතයා දිවි පවත්වයි.”
ගූථඛාදකපෙතවත්ථු අට්ඨමං.