6. කුමාර ප්‍රේත කථාව
755. “හිමාලය වනයාගේ එක් පසෙකින් ශ්‍රාවස්ති නම් නුවරෙක් ඇත්තේය. එහි රජ පුත්වූ කුමරුවෝ දෙදෙනෙක් වූවාහුයයි මා අසන ලදී.
756. “සිත් ඇලවිය යුතු කාමයන්හි ඉතාමත් කාම ගුණාස්වාද වසයෙන් සතුටුවනසුලුවූ වර්තමාන සැප මාත්‍රයෙහි ගිජුවූ ඔව්හු තුමූ මතු සැපය නොබැලුවාහුය.
757. “ඔහු දෙදෙනා මේ මිනිස් බැවින් චුතව පරලොවට පැමිණියෝ වූහ. ඔවුහු තුමූ තමන්ගේ පෙර දුශ්චරිතය දැන අදෘශ්‍යමානව මේ සැවැත් නුවර සමීපයෙහි දැන් කෑගසත්.
758. “බහුශ්‍රැතයන් ඇති කල්හි දාන වස්තුව පැමිණ සිටි කල්හි තමන්ට සැප එලවන්නාවූ ස්වල්පවූද පිනක් කරන්ට එකාන්තයෙන් නොහැකි වීමු.
759. “අපි යම් පව් කමකින් රාජ කුලයෙන් චුතව සා පිපාසා දුකින් මඩනාලද ප්‍රේත ලෝකයෙහි උපන්නෙමු. ඊට වඩා ලාමක දෙයක් නම් කුමක් වන්නේද?
760. “මෙලොවදී යම් යම්දේ හිමිවූවෝ එහි කිසිවකටත් අහිමියෝ වෙත්. මිනිස්බැව්හි උසස්වූ ඒ මිනිස්සු ප්‍රෙතවිෂයෙහි පහත්ව සා පිපාසා දුකින් යුක්තව හැසිරෙත්.
761. “මිනිස් තෙම ඉසුරුමදයෙන්වූ දෝෂය මෙසේ දැක ඉසුරු මදය හැරපියා ස්වර්ගයට ගියෙක් වන්නේද සප්‍රාඥව ඒ මිනිස්තෙම ශරීරයාගේ බිඳීමෙන් ස්වර්ගයට පැමිණෙයි.”
කුමාරපෙතවත්ථු ඡට්ඨං.
7. රාජ පුත්‍ර ප්‍රේත කථාව
762. “පූර්ව ජන්මයෙහි කරන ලද අකුසල කර්මයන්ගේ විපාකයතෙම සිත මනරම් රූප හේතුවෙන්ද, ශබ්ද හේතුවෙන්ද රස හේතුවෙන්ද, ගන්ධහේතුවෙන්ද, ස්පර්ශ හේතුවෙන්ද මැඩලන්නේය.
763. “බොහෝවූ නෘත්‍යය ගීතය කාම රතිය හා මිත්‍රාදීන් හා ක්‍රීඩාව උයනෙහි විඳ රජගහ නුවරට පිවිසෙන්නේය.
764. “මහර්ෂිවූ දැමුණු සිත් ඇති අර්හත් ඵල සමාදියෙන් සන්හුන්වූ ආසා ඇත්තාවූ, ලජ්ජා සහිතවූ පාත්‍රයට ගත් ආහාරයෙහි සතුටුවූ සුනෙත්ත නම් පසේබුදුන් දුටුවේය.
765. “රාජ පුත්‍රතෙම ඇතුපිටින් බැස ස්වාමීනි, භික්ෂාව ලබන ලදදැයි ඇසීය. උන්වහන්සේගේ පාත්‍රය ගෙන ඉතා උස්කොට ඔසවා,
766. “තද භූමිප්‍රදෙශයක පාත්‍රය බිඳ සිනාසෙමින් මඳක් ඉවත්ව සිටියේය. ‘මහණ මම කිතව රජුගේ පුත්‍රයා වෙමි. මට කුමක් කරන්නෙහිද?’
767. “දරුණුවූ ඒ අකුශල කර්මයාගේ විපාකය කටුක විය. කරන ලද දරුණු පව ඇති රාජ පුත්‍රතෙම නරකයෙහි පිහිටියේ යම් විපාකයක් විඳීද?
768. “සුවාසූ දහස් සයක්ම එහෙයින්ම නහුත ගණන් අවුරුදු නරකයෙහි ඉතාමත් දුකට පැමිණියේය.