11. පාටලී පුත්‍ර ප්‍රෙත කථාව
802. “තී විසින් නරකයෙහි වූවෝද තිරිසන්හුද ප්‍රෙතයෝද අසුරයෝද යලි මනුෂ්‍යයෝද දෙවියෝද දක්නා ලද්දාහුය. තමාගේ කර්ම විපාකය තෙමේම දුටුවේය. තී කිසිවකු විසින් නොදක්නාලදුව පැළලුප් නුවරට පමුණුවන්නෙමි. එහි ගොස් කුශලක්‍රියා කරව.”
803. “යක්ෂය, නුඹ මට වැඩ කැමැත්තෙක් වෙහිය. දෙවිය නුඹ මට හිත කැමැත්තෙක් වෙහිය. මම ඔබගේ අවවාද වචන කරමි. නුඹ මාගේ ආචාර්යද වෙහි.
804. “මා විසින් නරකයෙහි වූවෝද තිරිසන්හුද ප්‍රෙතයෝද අසුරයෝද යලි මනුෂ්‍යයෝද දෙවියෝද දක්නා ලද්දාහුය. තමාගේ කර්ම විපාකය තෙමේම දුටුවේය.”
පාටලිපුත්තපෙතවත්ථු එකාදසමං.
12. අම්බවන ප්‍රෙත කථාව
805. “තාගේ මේ පොකුණද අතිරම්‍ය වෙයි. සමතලා වූ මනා තොටුපල් ඇත්තී මහත් දිය ඇත්තීද වෙයි. මනාව පිපි මල් ඇත්තීද බමර සමූහයාගෙන් ගැවසුනේද වෙයි. තා විසින් මේ මනරම් පොකුණ කෙසේ ලබන ලද්දීද?
806. “තාගේ මේ අඹ උයන ඉතා මනරම්වෙයි. සියලු ඍතුන්හී සැප එලවයි. පලදරයි. මනාව පිපි මල් ඇත්තේ බමර සමූහයාගෙන් ගැවසුණේ වෙයි. තා විසින් මේ විමන කෙසේ ලබන ලද්දේද?
807. “මා දුව විසින් ඒ දෙනලද දාන හේතුවෙන් ඉදුනු අඹ හා පැන්ද, කැඳද, සිහිල් සෙවනද එහිදී මට ලැබෙයි.
808. “දානයාගේද, ඉන්ද්‍රිය දමනයාගේද, සීල සංයමයාගේද, මෙලොවමවූ විපාකය මෙසේ බලව්. මම ස්වාමීන්ගේ ගෙදර දාසියෙක්වී නැවත යෙහෙළියක් වී නැවත ස්වාමිදුවක්ද වීමි.”
අම්බවනපෙතවත්ථු ද්වාදසමං.
13. අක්ඛරුක්ඛ ප්‍රෙත කථාව
809. “යම් දාන වස්තුවක් දායකතෙම දේද, එයම විපාක භාවයෙන් නොවෙයි. දානය දෙන්නේමය. දී මෙලොව දුක ඉක්මවයි. ඒ දාන හේතුවෙන් දෙව්ලොව සැපතට නොහොත් තමන් හා අනුන්යයි දෙවැදෑරුම් හිත සැපයට පැමිණෙයි. පුබුදුවයි, පමා නොවව්.”
අක්ඛරුක්ඛපෙතවත්ථු තෙරසමං.
14. භොගසංහාර ප්‍රෙත කථාව
810. “අපි යුක්ති වශයෙන්ද අයුක්තියෙන්ද වස්තු සම්පත් රැස්කළෙමු. ඒ වස්තුව සෙස්සෝ පරිභොග කරත්. අපි මහත් දුකට හිමිවූවෝ වෙමු.”
භොගසංහරණපෙතවත්ථු චුද්දසමං.
15. සෙට්ඨිපුත්ත ප්‍රෙත කථාව
811. “ලොහො කුඹු නිරයෙහි පැසෙන්නාවූ අපට සැට දහසක් අවුරුදු සැම ලෙසින් පිරුණාහුය. කවර කලෙක කෙළවර වන්නේද?
812. “නිදුකාණෙනි, මාගේද, තාගේද දුක් විඳීමේ කෙළවරක් නැත්තේය. අවසනක් කොයින්ද කෙළවර දක්නා නොලැබේ. එපරිද්දෙන්ම පව්කම් මා හා තා විසිනුත් කරණ ලදී.